මධුෂ්ගේ ගෝලයෙක් යැයි සැලකෙන පුද්ගලයෙකු ගම්පොළදී අත්අඩංගුවට

by Staff writer 18-05-2019 | 9:17 PM
COLOMBO (News 1st) - මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙක් යැයි සැලකෙන පුද්ගලයෙකු ගම්පොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අදාළ සැකකරු මීට පෙර ද මීනීමැරුම්, මංකොල්ලකෑම් හා මුදල් වංචාවලට චෝදනා ලබා ඇති අයෙකු බව ය. මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා පසුගිය 14 වන දා පැල්මඩුල්ල කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුට තර්ජනය කරමින් මුදලින් රුපියල් ලක්ෂ 50ක කප්පමක් ඉල්ලා තිබේ. එසේ මුදල් ඉල්ලීමේදී සැකකරු ප්‍රකාශ කර ඇත්තේ, මාකඳුරේ මධුෂ්ට ඇප ලබා ගැනීම සඳහා එම මුදල් අවශ්‍ය වන බව ය. පසුව ව්‍යාපාරිකයාගේ ඉල්ලීම මත කප්පම් මුදල වශයෙන් රුපියල් ලක්ෂ 5ක් ලබා ගැනීමට අදාළ සැකකරු එකඟ වී තිබේ. සැකකරු ප්‍රකාශ කර ඇත්තේ, ප්‍රථමයෙන් රුපියල් 50000ක මුදලක් ඔහුට අයිති ගිණුමකට බැර කරන ලෙස ය. අනතුරුව පොලීසියට කළ පැමිණිල්ලක් අනුව කහවත්ත පොලීසියේ විශේෂ විමර්ශන ඒකකය දියත් කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, පෞද්ගලික බැංකුවකින් මුදල් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී ය. ගම්පහ යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 45 හැවිරිදි සැකකරු ලබන 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.