අමෙරිකාවෙන් හා ශ්‍රී ලංකාවෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

එක්සත් ජනපද - ශ්‍රී ලංකා හවුල්කාරිත්ව සංවාදය පිළිබඳව ඒකාබද්ධ ප්‍රකාශයක්

by Staff writer 18-05-2019 | 8:19 PM
COLOMBO (News 1st) - පසුගියදා අමෙරිකාවේ වොෂින්ටන්හිදී පැවති එක්සත් ජනපද - ශ්‍රී ලංකා හවුල්කාරිත්ව සංවාදය පිළිබඳව අද ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කෙරිණි. පසුගිය 16 වන දා පැවති 3 වැනි එක්සත් ජනපද - ශ්‍රී ලංකා හවුල්කාරිත්ව සංවාදය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා එක්විණි. අමෙරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකා රජය එක්ව නිකුත් කළ අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයේ සහ මෙරට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ය. ශ්‍රී ලංකාව සමග ප්‍රතිත්‍රස්ත මෙන්ම සමුද්‍රික හා දේශ සීමා ආරක්ෂක සහයෝගය පුළුල් කිරීමට එක්සත් ජනපදය ඉදිරිපත් වන බව ද අදාළ ප්‍රකාශයේ සඳහන් ය. ජාත්‍යන්තර නීති හා සම්මුතීන් මත පදනම්ව ඉන්දියානු සහ ශාන්තිකර සාගරවල සුරක්ෂිත සමුද්‍රීය බල ප්‍රදේශයක් සහතික කිරීමටත් එක්ව කටයුතු කිරීමට රාජ්‍යයන් ද්විත්වය මෙහිදී එකඟතාවකට පැමිණ තිබේ. ඒ යටතේ යාත්‍රා කිරීමට, ගුවනින් පියාසර කිරීමට සහ බාධාවකින් තොරව වෙළෙඳ කටයුතු ඇති කිරීමට ඇති නිදහස සහතික කෙරෙන නිදහස් හා විවෘත ඉන්දු ශාන්තිකර කලාපයක් කරා යන එක්සත් ජනපද උපාය මාර්ගය වැදගත් මුලපිරීමක් වශයෙන් මෙහිදී හඳුනා ගත් බව දෙරටේ ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන් ය.