2018දී ප්‍රධාන රාජ්‍ය ආයතන 2කට දැවැන්ත අලාභයක්

2018 වසරේදී ඛනිජ තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 133ක අලාභයක්

by Staff writer 17-05-2019 | 11:53 AM
COLOMBO (News 1st) - 2018 වසරේදී රජයේ ප්‍රධාන ආයතන දෙක වන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා විදුලිබල මණ්ඩලය පමණක් රුපියල් බිලියන 133ක අලාභයක් ලබා තිබේ. පසුගියදා නිකුත් වූ 2018 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ මේ බව සඳහන් ය. 2018 වසරේදී ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 104ක අලාභයක් ලබා තිබේ. මහ බැංකුව පෙන්වා දෙන්නේ, ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගණන් ඉහළ යාම හා රුපියල අවප්‍රමාණය වීමට සාපේක්ෂව දේශීය තෙල් මිල ගණන් සංශෝධනය නොකිරීම තුළ සංස්ථාවට මෙවැනි විශාල අලාභයක් විඳීමට සිදුව ඇති බව ය. කෙසේ වෙතත් 2018 වසරේ මැයි මාසයේදී හඳුන්වා දුන් මිල සූත්‍රය අනුව එම වසර තුළ අවස්ථා 9කදී තෙල් මිල සංශෝධනය කරනු ලැබූ නමුත් ආයතනය ලබා ඇති අධික අලාභය දෙස බලන විට පෙනී යන්නේ මෙම මිල සූත්‍රයේ සාර්ථක භාවය පිළිබඳ ගැටලු පවතින බව ය. 2018 වසරේ ඛනිජ තෙල් සංස්ථාවට වෙනත් රාජ්‍ය ආයතනවලින් අය විය යුතුව තිබූ මුදල රුපියල් බිලියන 81.7කි. එයින් 58%ක් ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් හා තවත් 31%ක් ලංකා විදුලිබල මණ්ඩලයෙන් අය විය යුතු මුදල් බව මහ බැංකු වාර්තාවේ සඳහන් ය. මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය ද 2018 වසරේදී බදුවලට පෙර රුපියල් බිලියන 28.9ක අලාභයක් ලබා තිබිණි. එය 2017 වසරේ ලැබූ රුපියල් බිලියන 46ට සාපේක්ෂව අලාභයේ යම් අඩු වීමකි. 2018 වසරේදී ජල විදුලි උත්පාදනය 2017 වසරට සාපේක්ෂව 68%කින් ඉහළ අගයක පැවතීම අලාභය අවම වීමට හේතු වී ඇති බව මහ බැංකු වාර්තාවේ සඳහන් ය.