by Staff writer 17-05-2019 | 6:42 PM
COLOMBO (News 1st) - ෂැංග්‍රිලා හෝටලයේදී බෝම්බ පුපුරාගෙන මිය ගිය ඉන්ෂාෆ් අහමඩ් නැමැත්තාට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවය කළ කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නැමැත්තා සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 75 වටිනා චෙක්පත් තුනක් සොයාගෙන ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාට අද දැනුම්දී තිබේ.
වැල්ලම්පිටිය පොලිස්ථානාධිපතිවරයා අධිකරණයේදී කියා සිටියේ, මෙම සැකකරු කර්මාන්ත ශාලාවේ හිමිකරු සමග ඉතා සමීප සබඳතා පවත්වා ඇති බවයි.
කරුපයියා රාජේන්ද්‍රන්ගේ විවාහ මංගල්‍යයේ වියදම් සඳහා තඹ කර්මාන්ත ශාලාවේ හිමිකරු රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද ඔහු කියා සිටියේ ය.
පොලිස්ථානාධිපතිවරයා සඳහන් කළේ, ද්‍රවිඩ ජාතිකයෙකු වන මෙම සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශයක් ආරම්භ කර ඇති බවයි.
සැකකරු ලබන 30 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
මේ අතර පසුගිය 06 වැනි දා අධිකරණය ඇප මත මුදා හරිනු ලැබු එම කර්මාන්ත ශාලාවේ සේවකයින් 09 දෙනා නිරතුරු දුරකතන මගින් සම්බන්ධ වී ඇති දුරකතන අංක 10 ක් සම්බන්ධයෙන් දුරකතන විශ්ලේෂණ වාර්තා කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ.
අතිරේක මහේස්ත්‍රාත්වරයා රාජ්‍ය හා පෞද්ගලික බැංකු ආයතන කිහිපයකට නියෝග කළේ, සැකකරුවන්ට 10 දෙනාටම අයත් බැංකු ගිණුම් වාර්තා වැල්ලපිටිය පොලීසියට ලබාදෙන ලෙසටයි.
මේ අතර තඹ කර්මාන්ත ශාලාව පිළිබඳව වැල්ලම්පිටිය පොලීසිය විමර්ශන සිදු කරන අතරතුර පළාගොස් ඇතැයි අනාවරණය වූ සේවකයින් තිදෙනාගෙන් එක් අයෙකු මාවනැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
එම සැකකරු ද ලබන 31 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
මේ අතර පසුගිය 21 වැනි දා දිවයිනේ ස්ථාන 8 කදී සිදු වූ බෝම්බ පිපිරීම් 8 කට අදාළ විඩියෝ දර්ශන සිය ජංගම දුරකතනයේ තබා ගෙන සිටි මොහොමඩ් නිලාම් මොහොමඩ් අහමඩ් නැමැත්තා ද ලබන 10 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
ඒ, ඔහු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.