Brexit යළි පරාජය වුවහොත් තෙරේසා මේ තීන්දුවක් ගනී

බ්‍රෙක්සිට් ක්‍රියාවලිය යළි පරාජය වුවහොත් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන බව බ්‍රිතාන්‍ය අගමැතිනිය කියයි

by Staff writer 17-05-2019 | 7:47 AM
(News 1st) - බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට අදාළ ක්‍රමවේදය සහිත යෝජනාවලිය ලබන මස මුල් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඉදිරි මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ පොරොන්දු වී තිබේ. දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම යෝජනාවලිය පාර්ලිමේන්තුවේදී නැවත වරක් පරාජය වුවහොත් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට ද තෙරේසා මේ තීරණය කර ඇති බව ය. ඉහළ පෙළේ කොන්සවේටිව් මන්ත්‍රීවරුන් පිරිසක් හමුවේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර තිබේ. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට අදාළ යෝජනාවලිය හෙවත් බ්‍රෙක්සිට් ගිවිසුම මේ වන විට 3 වරක් එරට පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වී ඇති පසුබිමක මෙම ප්‍රකාශය කිරීම විශේෂත්වයකි. මේ අතර ජ්‍යෙෂ්ඨ කොන්සවේටිව් ක්‍රියාකාරිකයෙකු සහ ලන්ඩන්හි හිටපු නගරාධිපතිවරයෙකු ද වන බොරිස් ජොන්සන් පවසන්නේ, තෙරේසා මේ හට ධූරයෙන් ඉවත් වීමට සිදු වුවහොත් තමා ඉදිරි මැතිවරණයට තරග වදින බව ය.