ජනපති හා නිදහස් පක්ෂ මන්ත්‍රීන් පිරිසක් අතර හමුවක්

ජනපති හා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් අතර හමුවක්

by Staff writer 17-05-2019 | 7:28 AM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද පැවැත්වේ. ඒ, සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් පොදු නීති පද්ධතියක් සකස් කිරීම සඳහා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝජනාවලිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ය. එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, එහිදී ජනාධිපතිතුමාව ද මෙම යෝජනාවලිය පිළිබඳව දැනුවත් කරන බව ය. මේ අතර අද පැවැත්වෙන ආරක්ෂක කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවට මෙම යෝජනාවලිය ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ ය. විවිධ ජාතීන්ට සහ විවිධ ආගම්වලට වෙන් වූ නීති පැවතීමෙන් උද්ගතව ඇති ගැටලු විසඳීම අරමුණු කර ගනිමින් එම යෝජනාවලිය ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ ය.