ගම්මැද්ද 3 වන අදියරේ ප්‍රගතිය පිළිබඳව මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් දැනුවත් කෙරේ

by Staff writer 17-05-2019 | 2:19 PM
COLOMBO (News 1st) - අද උදෑසන සීමාසහිත කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ නිලධාරීන් පිරිසක් සියම් මහා නිකායේ මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දුටුහ. සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල්, නිව්ස්ෆස්ට් අධ්‍යක්ෂ සාමාන්‍යාධිකාරී යසරත් කමල්සිරි ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. පළමුවෙන් මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් බැහැ දුටු නිව්ස්ෆස්ට් කණ්ඩායම ගම්මැද්ද තුන්වැනි අදියරේ ව්‍යාපෘතීන්වල ප්‍රගතිය සම්බන්ධ වාර්තාව මහා නාහිමියන්ට පිළිගැන්විය. නිව්ස්ෆස්ට් කණ්ඩායම අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන මහ නාහිමියන් බැහැ දුටුවේ ඉන් අනතුරුව ය. එහිදී උන්වහන්සේට ද ගම්මැද්ද වාර්තාව පිළිගැන්විය. මෙම අවස්ථාවට ගම්මැද්ද ව්‍යාපෘතිය සමග අත්වැල් බැඳගෙන කටයුතු කරන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තිලක් බණ්ඩාර මහතා ද එක්විණි.