බදියුදීන්ට එරෙහි විශ්වාස භංග යෝජනාව කථානායකට

රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාස භංග යෝජනාව කථානායකට භාර දෙයි

by Staff writer 16-05-2019 | 7:27 AM

COLOMBO (News 1st) - අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව අද පෙරවරුවේ කථානායකවරයාට භාර දුන්නේ ය.

උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් භාර දුන් මෙම විශ්වාස භංග යෝජනාවෙන් කරුණු 10ක් යටතේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට චෝදනා නගා තිබේ. එය කථානායකවරයාට භාර දුන්නේ, විපක්ෂයේ මන්ත්‍රීවරු 64 දෙනෙකුගේ අත්සනින් ය. විදේශගතව සිටින සනත් නිශාන්ත හා ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරුන් ලිපි මගින් කථානායකවරයාට දැනුම් දී තිබුණේ මෙම යෝජනාවට තම සහය ලැබෙන බව ය. එක්සත් ජාතික පක්ෂයේ සිට විපක්ෂයට එක් වූ ආනන්ද අලුත්ගමගේ සහ අශෝක ප්‍රියන්ත යන මන්ත්‍රීවරුන් ද යෝජනාවට අත්සන් කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන එස්.බී. දිසානායක, තිලංග සුමතිපාල, නිශාන්ත මුතුහෙට්ටිගම, ඩිලාන් පෙරේරා යන මහත්වරුගේ අත්සන් ද ඊට ඇතුළත් ය. මීට අමතරව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ එස්. ව්‍යාලේන්ද්‍රන් මන්ත්‍රීවරයා ද විශ්වාස භංගයට අත්සන් කර තිබේ. නමුත් විපක්ෂ නායන මහින්ද රාජපක්ෂ මහතා ඊට අත්සන් තබා නොමැත.