"ප්‍රචණ්ඩත්වයට එරෙහිව හඬ නැගිය යුතුයි"

ප්‍රචණ්ඩ ක්‍රියාවලට ජනතාව පොළඹවන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න - යුරෝපා සංගමයෙන් ඉල්ලීමක්

by Staff writer 16-05-2019 | 6:53 PM
COLOMBO (News 1st) - නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා ජනතාව පොළඹවන්නන්ට සහ අපරාධකරුවන්ට එරෙහිව නීතිය එකලෙස ක්‍රියාත්මක කරන්නැයි යුරෝපා සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය ප්‍රකාශ කළේ, ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිගන්නා බව ය. පැහැදිලි නායකත්වය මෙන්ම වෛරය සහ ප්‍රචණ්ඩත්වය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීම අතිශය වැදගත් බව ද යුරෝපා සංගමය පවසයි. ප්‍රචණ්ඩත්වයට, සමාජ නොසන්සුන්තාව මෙන්ම අවිශ්වාසය පතුරුවන පිරිස්වලට එරෙහිව දිගින් දිගටම හඬ නැගිය යුතු යැයි අවධාරණය කරන යුරෝපා සංගමය දේශපාලනික, ආගමික සහ වෙනත් ප්‍රජා නායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ජනවර්ග අතර සාමය සහ අවබෝධය ප්‍රවර්ධනය කිරීමට සෑම උත්සහයක්ම ගන්නා ලෙස ය. ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව යන රටවල තානාපති කාර්යාල සහ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලය මෙන්ම නොර්වේ සහ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලවල එකඟතාව මත අදාළ නිවේදනය නිකුත් කර තිබේ.