තඹ කම්හල් සේවකයින් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිගෙන් පැමිණිල්ලක්

by Staff writer 16-05-2019 | 9:21 PM
COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සිදු කළ බෝම්බකරුවෙකුට අයත් බව කියන තඹ කම්හලෙන් අත්අඩංගුවට ගත් සේවකයින් 9 දෙනෙකු ඇප මත මුදා හැරීමේ සිද්ධියට අදාළව වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් කර තිබේ. වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ගාමිණි හේවාවිතාන මහතා අධිකරණ සේවා කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ, සැකකරුවන්ට ඇප නොදෙන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළ බව ය. නමුත් පොලීසිය කළ එම ලිඛිත හා වාචික ඉල්ලීම මහේස්ත්‍රාත්වරයාගේ කාර්යය සාධන වාර්තාවට ඇතුළත් කර නැතැයි පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණ සේවා කොමිසමට දන්වා තිබේ. මෙම තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින් 9 දෙනෙකු වැල්ලම්පිටිය පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් අතර තවත් අයෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය අත්අඩංගුවට ගත්තේ ය. ඔවුන් දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කර යළි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී එම සේවකයින් 9 දෙනා ඇප මත මුදා හැරිණි. සැකකරුවන් ජංගම දුරකතන, සිම් කාඩ්පත් 02ත් 08ත් අතර සංඛ්‍යාවක් පරිහරණය කර ඇති බවත් මොවුන් රුපියල් 30,000ක මාසික වැටුපකට සේවය කර ඇති බවත් පොලීසිය අධිකරණයට වාර්තා කළේ ය. මොවුන් වැඩි වේලාවක් කර්මාන්ත ශාලාවෙන් පිටත කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සැරිසරමින් සිට ඇතැයි එම වාර්තාවේ සඳහන් වූ අතර රුපියල් 30,000කට අධික මාසික කුලී ගෙවා නිවාස ද ලබා ගෙන තිබූ බව එහි දැක්විණි. ඇප පනත යටතේ කරුණු ඉදිරිපත් කරමින් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබුණේ, මොවුන්ට ඇප ලබා නොදෙන ලෙස ය. සැකකරුවන් පිළිබඳව විමර්ශනය කරනු ලබන්නේ, කුමන පනතක් යටතේ දැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා එහිදී පොලීසියෙන් විමසා ඇති අතර පොලීසිය දැනුම් දුන්නේ, පරීක්ෂණ අවසන් නොමැති බැවින් ඉදිරි නඩු දිනයේදී අදාළ පනත පිළිබඳව දැනුම් දෙන බව ය. කෙසේ වෙතත් මෙහිදී සැකකරුවන් 09 දෙනෙකු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.