අමෙරිකාවට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

අන්තර්ජාලයෙන් රහස් හෙළි කිරීමේ අවදානමක් හේතුවෙන්, අමෙරිකාවට තොරතුරු තාක්ෂණය පිළිබඳ හදිසි තත්ත්වයක්

by Staff writer 16-05-2019 | 1:29 PM

(News 1st) -  තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රය ඔස්සේ එල්ලවන තර්ජන සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

අමෙරිකානු පරිගණක ජාල, විදේශීය බලවේගයන්ගෙන් රැකගැනීම එහි අරමුණයි. විදේශීය බලවේග නිරන්තරයෙන් අමෙරිකාවේ තොරතුරු තාක්ෂණික, සන්නිවේදන තාක්ෂණික, යටිතල පහසුකම් සහ සේවාවල දුබලතාවලින් අනිසි ප්‍රයෝජන ගන්නා බව ද අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණයට ලක් කළේ ය. අමෙරිකානු ෆෙඩරල් සන්නිවේදන කොමිසමේ සභාපති අජිත් පායි, ජනපති ට්‍රම්ප්ගේ එම තීරණය පිළිගෙන ඇත්තේ මෙය අමෙරිකානු පරිගණක ජාල ආරක්ෂා කිරීමට ගත් ප්‍රබල පියවරක් බව පවසමිනි. මේ අනුව අමෙරිකාවේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස සැලකෙන විදේශීය විදුලි සංදේශ සමාගම්වල සේවා සහ උපකරණ භාවිතය අමෙරිකානු සමාගම්වලට තහනම් කෙරෙනු ඇත. ජනපති ට්‍රම්ප්ගේ විධායක නියෝගයේ එම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කිරීමට හේතුවන සමාගම් නම් කර නැත. එහෙත් චීනයේ ප්‍රමුඛපෙලේ විදුලි සංදේශ සමාගමක් පදනම් කරගනිමින් ජනපති ට්‍රම්ප් එම පියවර ගෙන ඇතැයි විමර්ෂකයෝ අනාවැකි පළ කරති. අදාළ චීන සමාගම සිය නිෂ්පාදන ඔස්සේ සෙසු රටවල් පිළිබද ඔත්තු බැලීමේ නිරතවන බවට අමෙරිකාව ඇතුළු ලොව රටවල් ගණනාවක් මීට පෙර චෝදනා කර තිබේ. චීනය සමඟ සිය වෙළඳ යුද්ධය උත්සන්න වන පසුබිමකදී අමෙරිකාව ගත් මෙම පියවරෙන් දෙරට අතර අර්බුදකාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.