කවු ද මේ ආදිල් අමීස්...?

සහරාන්ලා සමග සබඳතා පැවැත්වූ මෘදුකාංග ඉංජිනේරුවෙකු ගැන තතු හෙළිවෙයි

by Staff writer 15-05-2019 | 8:13 PM
COLOMBO (News 1st): අප්‍රේල් 21 ප්‍රහාරවලට තාක්ෂණික සහ ප්‍රවර්ධන සහය ලබාදුන් බව කියන මෘදුකාංග ඉංජිනේරුවෙකු පිළිබඳව ඉන්දියාව මීට වසර තුනකට පෙර සිට අවධානයෙන් සිට ඇතැයි, රොයිටර් පුවත් සේවය අනාවරණ කර තිබේ. රොයිටර් වාර්තාවේ දැක්වුණේ, 24 හැවිරිදි ආදිල් අමීස් නමැති මෙම පුද්ගලයා අප්‍රේල් 25 වන දා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා තහවුරු කළ බවයි. ආදිල් අමීස් නමැති මෙම පුද්ගලයා සිය ලින්ක්ඩ්ඉන් ගිනුමේ තමන් ජ්‍යේෂ්ඨ වෙබ් නිර්මාණ සහ පරිගණක වැඩසටහන් ඉංජිනේරුවෙකු ලෙස හඳුන්වා දී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ය. රොයිටර් වාර්තාවේ දැක්වුණේ, බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාලවලින් පරිගණක විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධියක් සහ දේශපාලන විද්‍යාව පිළිබඳව උපාධියක් ලබාගෙන ඇතැයි ද ඔහු සඳහන් කර ඇති බවයි. 2016 වසරේ ඉන්දීය බුද්ධි අංශ ආදිල් අමීස් IS ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ බවට අවස්ථා දෙකකදී එරට අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. එක් අවස්ථාවකදී ඉන්දීය ජාතික ජාතික බුද්ධි සේවාව අධිකරණයට දන්වා තිබුණේ, අහමදාබාද් නුවර දේවස්ථානයකට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ දෙදෙනෙකු සමග ආදිල් අමීස් ෆේස්බුක්, වට්ස් ඇප් සහ ටෙලිග්‍රෑම් ඔස්සේ සාකච්ඡා කර ඇති බවයි. 2016 වසරේ IS ත්‍රස්ත සංවිධානය පිළිබඳව ප්‍රචාරණ කටයුතුවල නිරතවූ බව කියන චෝදනා මත අත්අඩංගුවට ගත් තවත් ඉන්දීය ජාතිකයින් තිදෙනෙකුට එරෙහිව ගොනු කළ නඩුවකදී එම ප්‍රචාරණ කටයුතුවලට අවශ්‍ය ද්‍රව්‍ය ලබාදුන් බවට ආදිල්ට එරෙහිව කරුණු වාර්තා කර තිබේ. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඉන්දියාව ශ්‍රී ලංකා බලධාරීන් දැනුවත් කර තිබුණේ දැයි තහවුරු කර ගැනීමට නොහැකිවූ බව පවසන රොයිටර් පුවත් සේවය සඳහන් කළේ, ආදිල් අමීස් පිළිබඳව අඛණ්ඩව විමර්ශන සිදුකළ බවට ද තහවුරු කර ගැනීමට නොහැකි බවයි. අප්‍රේල් 21 වන දා ප්‍රහාර මාලාව සිදුකළ බවට ශ්‍රී ලංකා බලධාරීන් පවසන ජාතික තවුහිද් ජමාත් සහ ජමාතේ මිල්ලතු ඊබ්‍රාහිම් නමැති සංවිධාන දෙක සමග ආදිල් අමීස්ට සමීප සබඳතා තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු සහ යුද හමුදාවේ නිලධාරීන් දෙදෙනෙකු පැවසූ බව රොයිටර් වාර්තාවේ සඳහන් ය. ඩාර්ක් වෙබ් සහ වට්ස්ඇප් ඔස්සේ මෙම සබඳතා පවත්වා ඇති අතර මොහු ප්‍රහාර මාලාව සඳහා සරල පහසුකම් සැපයූවා ද නැත්නම් සැලසුම් කර ක්‍රියාත්මක කළා ද යන්න තවමත් පරීක්ෂණ කණ්ඩායම් සනාථ කර නොමැත. ත්‍රස්ත පහාරවලට සතියකට පමණ පෙර ආදිල් අමීස්, ජමීල්, සහරාන්, ඉන්සාෆ් ඊබ්‍රාහිම් සහ ඉල්හාම් ඊබ්‍රාහිම් නමැති ත්‍රස්තයින් හමුවී ඇතැයි පරීක්ෂණ කණ්ඩායම් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කළේ, ආදිල්, සහරාන් සහ ඊබ්‍රාහිම් සහෝදරයින් සමග වනාතවිල්ලුව ප්‍රදේශයේ ඉඩමක් කුළියට ගෙන පුහුණු කඳවුරක් ද පවත්වාගෙන ගොස් ඇති බවයි. ප්‍රහාරයෙන් දින 4 කට පසුව පොලීසිය ආදිල්ගේ නිවස සෝදිසි කළ අවස්ථාවේ ඔහුගේ පරිගණකයේ තිබූ තොරතුරු සියල්ල මකා දමා තිබූ බව ද රොයිටර් වාර්තාවේ සඳහන් ය. හමුදා ආරංචි මාර්ග උපුටා දක්වන රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, මොහු ත්‍රස්ත කණ්ඩායමට සන්නිවේදන පහසුකම්, රැස්වීම් සහ පුහුණු කඳවුරු සංවිධානය කරමින් ප්‍රධාන කාර්යයක් ඉටුකර ඇති බවයි.