වැලිගම නගර සභාවේ සභාපතිගෙන් රනිල්ට ලිපියක්

වැලිගම නගර සභාවේ සභාපතිගෙන් රනිල්ට ලිපියක්

by Staff writer 14-05-2019 | 10:14 PM
COLOMBO (News 1st) - වැලිගම නගර සභාවේ සභාපති රෙහාන් ඩී. විජේරත්න ජයවික්‍රම මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබේ. තමන් එක්සත් ජාතික පක්ෂයේ තෙවන පරම්පරාව නියෝජනය කරන බව පවසන රෙහාන් ඩී. විජේරත්න ජයවික්‍රම මහතා කියා සිටින්නේ, බෙහෝ අවස්ථාවලදී තමන්ට පක්ෂයේ කටයුතු සම්බන්ධයෙන් විවෘතව කතා නොකරන ලෙස උපදෙස් දී ඇති බව ය. සජිත් ප්‍රේමදාස මහතාට විවෘතව සහය දැක්වුවහොත් පක්ෂයේ ඇති ස්ථානය අහිමි විය හැකි බවට විවිධ පාර්ශව අනතුරු අඟවා ඇතැයි ඔහු පවසයි. මෙවැනි කරුණු ප්‍රකාශ කර ඇත්තේ තමන් බිය වැද්දීමට බව රෙහාන් ඩී. විජේරත්න ජයවික්‍රම මහතාගේ අදහසයි. තමන් දේශපාලනයේ වහල්කරුවෙකු නොවන බව අවධාරණය කරන ඔහු, තමන්ට එරෙහිව පක්ෂය මගින් ගන්නා විනයානුකූල ක්‍රියාමාර්ගවලට හිස නොනමන බව ද අවධාරණය කරයි. එම ලිපියේ දැක්වෙන්නේ, පක්ෂය දිගින් දිගටම අර්බුදයට සහ පසුබෑමට ලක් වන අතරතුර ජනතාව නිරන්තරයෙන් "සජිත්ට හිමි තැන දෙන්නේ කවදා දැයි " විමසන බව ය. තම ලිපිය වත්මන් පක්ෂ නායකයාට අභියෝග කිරීමක් නොවන බවත්, නමුත් දැන් ඔහුගේ කාලය අවසන් වී ඇති බවත් ජයවික්‍රම මහතාගේ ලිපියේ සඳහන් ය. පක්ෂය තුළ තැන රැක ගැනීමට හැකි වනු ඇති නමුත් ජනතාව වෙතින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප වී යනු ඇති බව ඔහු සිය ලිපියෙන් පෙන්වා දෙයි. එබැවින් ඉක්මනින්ම පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට භාර දෙනු ඇති බවට ජනතාව බලාපොරොත්තු වන බව ද, එසේ ලබා දුන්නහොත් ඔහු 2020 එළැඹෙන මැතිවරණය ජයග්‍රහණය කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු රනිල් වික්‍රමසිංහ මහතාට යැවූ ලිපියේ සඳහන් ය.