වයඹට පැනවූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත්

වයඹට තවදුරටත් පොලිස් ඇඳිරි නීතිය : සෙසු ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අවසන්

by Staff writer 14-05-2019 | 6:16 AM
COLOMBO (News 1st) : වයඹ පළාතට පැනවූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ගම්පහ පොලිස් කොට්ඨාසයට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6 න් අවසන්වූ බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශ වෙත ඊයේ රාත්‍රී 9.00 සිට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ද අද අලුයම 4 ට ඉවත් කෙරිණ. මේ අතර පවතින තත්ත්වය තුළ නිතීය උපරිම ලෙස යොදවන්නැයි, පොලිස් මූලස්ථානය සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබේ. වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින්, කළහකාරි සිදුවීම් ඇති කිරීමට උත්සහ කරන පිරිස් වෙත අනතුරු ඇඟවීමක් නිකුත් කළේ ය. රට තුළ නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීමට යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායම් උත්සහ කරන්නේ නම් හදිසි නීතිය යටතේ අවශ්‍ය නම්, උපරිම බලය ක්‍රියාත්මක කිරිමට සූදානම් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. මේ අතර 21 වනදා ප්‍රහාරයට සම්බන්ධ සියලු ත්‍රස්තයින් මේ වනවිට අත්අඩංගුවට ගෙන අවසන් බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, ජනතාව අසත්‍ය ප්‍රචාරවලට රැවටී නොසන්සුන්කාරී තත්ත්වයන් ඇති කිරිම, ආරක්ෂක අංශ ඉදිරි කටයුතුවලට බාධාවක් බවයි.