සාමකාමී වන්නැයි මහ නාහිමිවරු ජනතාවගෙන් ඉල්ලති

ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සාමකාමී වන්නැයි ත්‍රෛනිකායික මහ නාහිමිවරු ජනතාවගෙන් ඉල්ලති

by Staff writer 14-05-2019 | 10:32 PM
COLOMBO (News 1st) - ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සාමකාමීව එදිනෙදා කටයුතුවල නිරත වන්නැයි ත්‍රෛනිකායික මහ නාහිමිවරු ජනතාවගෙන් ඉල්ලීමක් කරති. නිවේදනයක් නිකුත් කරන මහා නායක හිමිවරුන් පෙන්වා දෙන්නේ, පසුගියදා සිදු වූ ත්‍රස්තවාදී අන්තවාදී මිලේච්ඡ පිරිස්වල ක්‍රියාකාරකම් ජන වාර්ගික හා ආගමික භේද උත්සන්න වී ඇති බව ය. සියලු වාර්ගික ආගමික සමගිය සමාදානය තහවුරු කිරීම පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ගේ බලවත් වගකීමක් බව ද ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් අදාළ නිවේදනයෙන් පෙන්වා දී තිබේ. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, ඡන්ද වැඩි කර ගැනීමේ පරමාර්ථයෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අයහපත් ප්‍රතිඵල රැසක් උද්ගතව ඇති බව ය. රටේ අයහපත් වාතාවරණයක් පවතින වකවානුවක වගකිව යුතු ඇමතිවරයෙකු ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බව පැවසීම පවා ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් බව ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේ පෙන්වා දෙයි. එමෙන් ම රටේ යහපැවැත්ම හා අභිවෘද්ධිය උදෙසා මහා සංඝරත්නය ලබා දෙන අනුශාසනා නොසලකා හැරීම සම්බන්ධයෙන් කණගාටුව පළ කරන මහ නාහිමිවරුන්, සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ ඒවා නැවත නැවත බලධාරීන්ගේ අවධානයට යොමු කිරීමට සිදුවීම කණගාටුවට කරුණක් බව ය. මෙම අවාසනාවන්ත අවස්ථාවේදී නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ නිරතව සිටින ආරක්ෂක අංශයන්ට ඒ වෙනුවෙන් කටයුතු කිරීමට සහය ලබා දීම කාගේත් යුතුකමක් බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.