පටු දේශපාලන අරමුණු පරදවමු!

පටු දේශපාලන අරමුණු පරදවමු! රට ගැන හිතමු!

by Staff writer 14-05-2019 | 9:41 PM
COLOMBO (News 1st) - ඊයේ රාත්‍රියේ ප්‍රදේශ කිහිපයකින් විවිධ ආකාරයේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් වාර්තා විය. අප දිගින් දිගටම පැවසූ ආකාරයට මෙම සිදුවීම් මාලාවෙන් කාටත් පැහැදිලි වන්නේ අදෘෂ්‍යමාන දේශපාලන හස්ථවලින් හසුරුවන පිරිස් විසින් මෙවැනි පහත්, නින්දිත ක්‍රියාවන්වල නිරත වන බව ය. මෙම මිලේච්ඡ ක්‍රියාවල නිරත පුද්ගලයින් මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් විකෘති තත්ත්වයට පත්ව සිටි බව ද නොරහසකි. කුප්‍රකට 83 කළු ජූලිය තවමත් බොහෝ දෙනෙකුට අඳුරු මතකයකි. එම ගැටුම් නිර්මාණය කළේ එකල සිටි අවස්ථාවාදී දේශපාලනඥයින්ගේ වුවමනා මත ය. එයින් සිදු වූයේ කුමක් ද? අහිංසක ජීවිත බිලි ගනිමින් අප මව්බිම තිස් වසරක යුද්ධයකට ඇද දැමීම ය. එපමණක් නොව ජාත්‍යන්තරය ඉදිරියේ අප රට දණින් වැට්ටවීමයි. එය අදටත් ජාත්‍යන්තරය හමුවේ මානව හිමිකම් පිළිබඳව ප්‍රශ්න මතු කරමින් අප පීඩාවට පත් කරමින් තිබේ. එදා අපට මග හැරුණු තීරණ ගැනීමට දැන් අවස්ථාව නොවේ ද? කූට දේශපාලන උපායවලට නොරැවටී සිටීම ජාතියේ වගකීමයි. ත්‍රස්තවාදී සුළු පිරිසක් නිසා ජන සමූහයක් ත්‍රස්තවාදීන් ලෙස හුවා දැක්වීම කිසිසේත්ම නොකළ යුත්තකි. එම ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකලාපයට ප්‍රතිචාර දැක්වීමට අහිංසක මිනිසුන්ගේ ජීවිත හා දේපළ හානි කිරීම සහ කොල්ල කෑම ශිෂ්ඨ සම්පන්න සමාජයක් කිසි විටක අනුමත නොකරයි. අප යළිත් අවධාරණය කරන්නේ, එක් පක්ෂයක් පමණක් නොව දේශපාලන පක්ෂවල ඉහළම මට්ටමේ අධිකාරීන්ගේ අනුදැනුමෙන් සිදු වන මෙවැනි ක්‍රියාවලට එරෙහිව ජනතාව පෙළ ගැසිය යුතු නොවේ ද යන්නයි. දේශපාලනඥයින්ගේ පටු අරමුණුවලට නොරැවටෙන්න. රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට මාන බලන විදේශ බලවේගවලට කිසි සේත් අවස්ථාවක් නොදිය යුතු ය. ශ්‍රී ලාංකේය අප එකම ජාතියක්. අප එකම පවුලක්. අපේ රට යැයි කියන්නට අපට ඇත්තේ එකම රටක් පමණයි. ඒ ශ්‍රී ලංකාවයි.