සංවිධාන 3ක් තහනම් කළ ගැසට් නිවේදනය නිකුත්වෙයි

ජාතික තවුහිත් ජමාත් ඇතුළු සංවිධාන 3 ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි

by Staff writer 14-05-2019 | 9:12 AM
COLOMBO (News 1st) : ජාතික තවුහිත් ජමාත්, ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් සහ විලායත් අස් සෙයිලානි යන සංවිධාන 3 තහනම් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මහජන ආරක්ෂක ආඥා පනතේ බලතල මත ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත්තේ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි. මේ යටතේ, ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත මෙම සංවිධාන වල සමාජිකයෙකු වීම, නායකත්වය දීම, නිල ඇදුමක් හෝ ලාංඡන, ධජ ප්‍රදර්ශනය කිරිම හෝ පැළදීම, රැස්වීම, සාකච්ඡාවකට සහභාගී වීම, සමාජිකත්වය ලබා ගැනීම හෝ සම්බන්ධ වීම සමාජිකයෙකුට සහය දැක්වීම, රැකවරණය දීම, ආධාර අනුබල දීම, ප්‍රවර්ධනය හෝ උපදෙස් දීම, මූල්‍ය හෝ ද්‍රව්‍යාධාර සැපයීම, ප්‍රවාහන,ගබඩා ඇතුළු පහසුකම් සැලසීම තහනම් වනු ඇති. මීට අමතරව මෙවැනි සංවිධාන සමඟ කිසිදු මුල්‍ය ගනුදෙනුවක් සිදුකිරිම හෝ එවැනි සංවිධාන වෙනුවෙන් ප්‍රචාරණය තහනම් කර තිබේ. මෙම නිති උල්ලංඝනය කරන, ඕනෑම පුද්ගලයෙකුට අදාළ වැරදි යටතේ මහාධිකරණය හමුවේ නඩු පවරා වසර 20කට නොඅඩු සිර දඬුවම් පැනවිය හැකියි. අදාළ වැරදි සඳහා තැත් කිරිම හෝ ක්‍රමන්ත්‍රණය කිරිම සම්බන්ධයෙන් ද, වසර 10කට නොඅඩු සිර දඬුවමක් නියම කළ හැකි වේ.