කොච්චිකඩේ බෝම්බකරු ගැන තොරතුරු හෙළිවෙයි

කොච්චිකඩේ දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු පිළිබඳ තොරතුරු රැසක් හෙළිවෙයි

by Staff writer 14-05-2019 | 6:46 PM
COLOMBO (News 1st) - කොච්චිකඩේ දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ අලහුදීන් අහමඩ් මුවාඩ් නීති විද්‍යාලයට ඇතුළු වීම සඳහා සුදුසුකම් ලබා සිටි අයෙකු බව අද අධිකරණයේදී අනාවරණය විය. ඒ, ඔහුගේ මරණය පිළිබඳ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය. සාක්ෂි ලබා දෙමින් ඔහුගේ මව කියා සිටියේ, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අහමඩ් මුවාඩ් මිය යන විට ඔහුගේ බිරිඳ ගැබිණියක බව ය. පසුගිය 05 වන දා ඇය ගැහැණු දරුවෙකු ප්‍රසූත කළ බව ද අධිකරණය හමුවේ ඇය කියා සිටියා ය. දරුවන් 5 දෙනෙකුගෙන් යුත් පවුලේ සිව් වැන්නා බෝම්බකරු බව ද අධිකරණයේදී අනාවරණය විය. පසුගිය අප්‍රේල් මස 14 වන දා බෝම්බකරු වන අහමඩ් මුවාඩ් මට්ටක්කුලියේ පිහිටි නිවසට පැමිණ ඇති බවත් සිය වැඩිමහල් සහෝදරයාට ලිපියක් ලියා තබා ඇති බව කියා සිටි ඔහුගේ මව තම පුතු රැකියාවක් නොකළ අයෙකු බැවින් පියා මාසයකට ඔහුට රුපියල් 30000ක පමණ මුදලක් ලබා දුන් බවත් අධිකරණය හමුවේ සඳහන් කළා ය. 22 හැවිරිදි ඔහු නීති විද්‍යාලයට පිවිසීමට සුදුසුකම් ලබා මේ වසරේදී නීතී විද්‍යාලයට ඇතුළත් වීමට සිටි බව ඔහුගේ පියා අද අධිකරණය හමුවේ කියා සිටියේ ය. බෝම්බ ප්‍රහාරය එල්ල වූ දින අහමඩ් මුවාඩ් වන තම ස්වාමි පුර්ෂයා වට්ස්ඇප් මගින් තමාට ඇමතුමක් ලබා දුන් බවත් එහිදී තමන් මඩකලපුවේ සිටින අතර පෙරවරු 9.30ට පෙර කොළඹට යන බවට දැනුවත් කළ බවත් බිරිඳ ප්‍රකාශ කළා ය. ඇය සඳහන් කළේ, ප්‍රහාරයෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් ඔහුගේ හිස කොටසක් පෙන්වූ බවත් එය තම ස්වාමි පුර්ෂයාගේ බවට හඳුනා ගත් බව ය. ඩී.එන්.ඒ. පරීක්ෂණ සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරී කර්යාලයේදී තමන්ගෙන් සාම්පල ලබා ගත් බව බෝම්බකරුගේ දෙමව්පියෝ අධිකරණයට කියා සිටියහ.