ඇමති රිෂාඩ්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට පියවර

ඇමති රිෂාඩ්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට පියවර

by Staff writer 14-05-2019 | 10:04 PM
COLOMBO (News 1st) - කර්මාන්ත වාණිජ, දිගු කාලීනව අවතැන් වූවන් යළි පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන, වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවකට විපක්ෂ මන්ත්‍රීවරු අද අත්සන් කළහ. අදාළ විශ්වාසභංග යෝජනාවේ සඳහන් වන්නේ, රිෂාඩ් බදියුදීන් මහතාට තවදුරටත් කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමේ හැකියාව පිළිබඳව විශ්වාසයක් නොපවතින බව ය. ඩලස් අලහප්පෙරුම, චමල් රාජපක්ෂ, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු මන්ත්‍රීවරු 23 දෙනෙකු අද පෙරවරුව වන විට මෙම යෝජනාවට අත්සන් තබා තිබිණි. අප කළ විමසීමකදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ, අදාළ යෝජනාව පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා හෙට පෙරවරුවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විජේරාමේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේදී රැස්වීමක් පවත්වන බව ය. අදාළ විශ්වාසභංග යෝජනාව අද දිනයේ කථානායකවරයා වෙත භාර දීමට සැලසුම් කර තිබිණි. නමුත් අදාළ විශ්වාසභංග යෝජනාව අද කථානායකවරයා වෙත භාර නොදුන් බව කථානායක කාර්යාලය අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ ය.