by Staff writer 13-05-2019 | 7:14 PM
COLOMBO (News 1st) - මෙය ශ්‍රී ලංකාවේ තීරණාත්මක මොහොතකි.
එබැවින්, රටේ ආරක්ෂක තත්ත්වය සහ ජන ජීවිතය සුරැකීම උදෙසා කටයුතු කිරීම පොදු වගකීමක් බවට පත් ව තිබේ.
පවත්නා සංවේදී තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීමට විවිධ කල්ලි හා කණ්ඩායම් අප්‍රේල් 21 වැනි දා සිටම කල් බලමින් සිටි බව පැහැදිලි කරුණකි.
ඕනෑම තත්ත්වයක් යටතේ වාසි ලබා ගැනීමට නිර්ලැජ්ජිත වන දේශපාලන අරමුණු පෙරදැරිකර ගත් පිරිස් යළි සක්‍රියව ඇති බව දැන් පැහැදිලිය.
සුළුවෙන් ඇරඹෙන ගැටුම් අප නොසිතන ඉසව් වෙත ඇවිලීයාමේ අවදානමක් අන්කවරදාටත් වඩා අද දක්නට තිබේ.
ඒ තත්ත්වය යටතේ සැලසුම්ගත ත්‍රස්තවාදය පාලනය පිණිස යෙදවිය යුතු ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ශක්තිය කැරළි කෝලාහල මර්දනය සඳහා යෙදවීමට සිදුවෙතොත් එය ජාතික අපරාධයකි.
නීතිය හා සාමය සුරැකීමට සහායවීම මේ මොහොතේ අප ජාතික වගකීමයි.
සබුද්ධික ශ්‍රී ලාංකේය ජනතාව ඒ වගකීම දැනටමත් අවබෝධකරගෙන අවසන් ය.
ඊට බාධා කිරීමට උත්සාහ ගන්නා ඇතැම් දේශපාලඥයින්ට කිසිදු අවස්ථාවක් නොදීම අපගේ පොදු වගකීමක් බව අවධාරණයෙන් සඳහන් කළ යුතුයි.
අපේ කටයුතුවලට මැදිහත් වීම සඳහා විදේශීය රාජ්‍යයන් රතු පලස එලා පිළිගන්නට අද නායකයන් යැයි කියා ගන්නා ඇතැම් පිරිස් සූදානම් වනු දක්නට පුළුවනි.
උඩරට රාජධානිය බිඳ වැටුණේ රට තුළින්ම සහාය ලැබූ විදේශීය අතපෙවීම් නිසා බව අප යළි මතකට නගා ගැනීම බෙහෙවින්ම වටි.
ඒ තත්ත්වය ගැන නිසි ලෙස අවබෝධ කොටගෙන වරක් කළ වැරදි නැවත සිදු නොවන්නට කටයුතු කිරීමට වගබලා ගැනීම සැමගේ යුතුකමයි.
ශ්‍රී ලාංකේය අප එකම ජාතියක්.
අප එකම පවුලක්.
අවස්ථාවාදී දේශපාලඥයින්ට හෝ එවන් රාජ්‍යයන්ට ශ්‍රී ලංකාවට අතපෙවීමට ඉඩ නොතබා අප අත්වැල් බැඳ ගනිමු.
අපේ බලාපොරොත්තුවත් අපේ අනාගතයත් රඳා පවත්නේ මේ මොහොතේ අපේ ක්‍රියාකාරිත්වය මත බව අප තේරුම් ගනිමු.
අපේ රට යැයි කියන්නට අපට ඇත්තේ එකම රටක් පමණි.
ඒ, ශ්‍රී ලංකාවයි.