ඉරානය ඊශ්‍රායාලයට ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක ?

ඉරානය ඊශ්‍රායාලයට ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක ?

by Staff writer 12-05-2019 | 5:59 PM
COLOMBO (News 1st) : තම රට සහ අමෙරිකාව අතර මතභේදාත්මක තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් ඊශ්‍රායාලයට ප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවයි. ඉරාන කැබිනට් අමාත්‍යවරයකු මේ බව සඳහන් කළේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයට එරෙහිව ආර්ථික සහ හමුදා සම්බාධක පනවමින්, ඉරානයට එරෙහි පීඩනය දැඩි කිරීමට පියවර ගත් පසුබිමකදීයි. ඊශ්‍රායාල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අමෙරිකානු රජයට දැඩි සහය දක්වමින් අමෙරිකානු හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම, ඉරානයේ මෙම අනතුරු ඇඟවීමට හේතුව ලෙස සඳහන් වේ. මේ අතර අමෙරිකාවේ සම්බාධක හමුවේ එක්ව නැගී සිටින ලෙස ඉරාන ජනාධිපති හසන් රුහානි එරට දේශපාලන පක්ෂ වෙතින් ඉල්ලා සිටියේ ය. ඉරාන ජනාධිපතිවරයා සඳහන් කළේ, අමෙරිකාවෙන් එල්ල වන පීඩනය හමුවේ ඉරාක යුද සමය පැවති කාලසීමාවට ද වඩා අසීරු අවස්ථාවකට ඉරානය මුහුණපා සිටින බවයි. මේ අතර ඉරානයට එරෙහි සම්බාධක දැඩි කළ අමෙරිකානු ජනාධිපතිවරයා , න්‍යෂ්ටික වැඩසටහන අත්හැරීම සම්බන්ධයෙන් තමන් සමග සාකච්ඡාවලට එළඹෙන ලෙස ඉරාන නායකයන්ගෙන් ඉල්ලා සිටියේ ය. අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, එසේ නොකළ හොත් ඉරානයට යුධමය බලපෑම් කිරීමට සිදුවනු ඇති බවයි.