ආරක්ෂක අංශ අණ නොතැකූ මෝටර් රථ 2කට වත්තලදී වෙඩි

රියැදුරන් දෙදෙනා ම බීමතින් සිට ඇති බව හෙළිවෙයි

by Staff writer 11-05-2019 | 9:14 PM
COLOMBO (News 1st) : ආරක්ෂක අංශ අණ නොතකා ධාවනය කෙරුණු මෝටර් රථ දෙකකට නාවික හමුදාව අද අලුයම වත්තලදී වෙඩි තබා තිබේ. එම වෙඩි තැබීම්වලින් ඉන් එක් රියදුරෙකු ජීවිතක්ෂයට පත්විය. වත්තල, හුණුපිටිය ගුවන් පාලම ආසන්නයේ නාවික හමුදාව ඊයේ රාත්‍රී මාර්ග බාධකයක් යොදා පරීක්ෂා කිරීම් සිදු කරමින් පැවතිණ. රාත්‍රී 12.00ට පමණ කිරිබත්ගොඩ සිට වත්තල දෙසට ධාවනය වූ නැනෝ වර්ගයේ මෝටර් රථයක් මාර්ග බාධකයේ නාවික නිලධාරින්ගේ අණ නොතකා ධාවනය කිරීමත් සමග නිලධාරින් මෝටර් රථයට වෙඩි තබා තිබේ. නාවික හමුදා ප්‍රකාශක, ලෙෆ්ටිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසුවේ, අණ නොතකා පලා යාමට උත්සාහ කිරීමේසී නාවික සෙබළුන් මෙම රථයට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අදාළ රියැදුරු මියගොස් ඇත්තේ, රෝහල්ගත කිරීමෙන් අනතුරුවයි. නාවික හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ, රියැදුරු අධික ලෙස බීමත්ව රිය පදවා ඇති බවට හෙළි වී ඇති බවයි.
"රාජකාරියේ යෙදී සිටි නාවික පුද්ගලයෙකුත් හප්පගෙන මෙම රථය පලායාමට උත්සහ කර තිබෙනවා.ඒ අවස්ථාවේදී එය පාලනය සදහා එහි රාජකාරියේ සිටි අනෙකුත් නාවික පුද්ගලයා විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මේ අවස්ථාවේදී තුවාල වුණු එම රථයේ රියැදුරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වෙලා තිබෙනවා.මූලික විමර්ශනවලදී අනාවරණය වෙලා තිබෙනවා මෙම රියදුරු අධික ලෙස බීමත්ව රිය පැදවූ අයෙක් බව"
මෙලෙස මිය ගොස් ඇත්තේ, වත්තල පරණ පාර පදිංචිව සිටි 34 හැවිරිදි චාමර අසංක රණසිංහ නමැති දෙදරු පියෙකි. ඔහුගේ වැඩිමහල් ගැහැණු දරුවාට වයස අවුරුදු 3ක් වන අතර බාල පිරිමි දරුවා තෙමස් වියැති බිළිඳෙකි. මේ අතර අද අලුයම 1.00ට පමණ අදාළ මාර්ග බාධකයේදී ආරක්ෂක අංශ අණ නොකතා ධාවනය කෙරුණු තවත් මෝටර් රථයකට ද නාවික හමුදා නිලධාරින් වෙඩි තබා තිබේ. වෙඩි තැබීමෙන් එම රථයට හානි සිදුව ඇති අතර රියදුරු අනතුරක් සිදුව නොමැත. නීතිඥවරයෙකු වන ඔහු ද බීමතින් සිට ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. මේ අතර නාවික හමුදා ප්‍රකාශක, ලෙෆ්ටිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, රටේ මහජනතාවගේ ම ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සිදුකරන මෙම සෝදිසි මෙහෙයුම් සඳහා සහය දක්වන ලෙසයි.
"බොහොම කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි මහජනතාවගෙන් මේ ආරක්ෂක අංශ වලින් කරන්නේ මුර කපොලු දාගෙන තැන් තැන්වල නිලධාරින් යොදවාගෙන ආරක්ෂාව තර කරලා තියෙන්නේ වෙන කාගෙවත් ආරක්ෂාව වෙනුවෙන් නෙවෙයි රටේ මහජනතාවගේ ආරක්ෂාවට. රටේ ජනතාවට වගකීමක් තියෙනවා මේ රාජකාරි සඳහා ඔවුන්ගේ උපරිම සහයෝගය ලබා දෙන්න. ඒ නිසා යළිත් ඉල්ලා සිටිනවා මේ ආකාරයෙන් කටයුතු කරන්න එපා. බීමත්ව රිය පදවගෙන ගිහිල්ලා නිලධාරින්වත් හප්පලා තුවාල කරගෙන මේ ආකාරයෙන් හැසිරෙන කොට ඔබ අපි මේ කරන මෙහෙයට පටහැනි දෙයක් කරන්නේ. රටට ඔබ වරදක් කරන්නේ" https://www.youtube.com/watch?v=L9JOe18AqCQ