සරසවි 2ක පීඨ කිහිපයක් ලබන සතියේ විවෘතයි

රජරට වෛද්‍ය පීඨ අවසන් වසර අධ්‍යයන කටයුතු 13 ඇරඹේ

by Staff writer 11-05-2019 | 4:51 PM
COLOMBO (News 1st) : රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර අධ්‍යයන කටයුතු අනින්දා ආරම්භ කරන බව එහි පාලනාධිකාරිය පවසයි. එහි උපකුලපති ආචාර්ය බී.ඒ. කරුණාරත්න මහතා සඳහන් කළේ, එම සිසුන්ට හෙට දහවල් 12.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ නේවාසිකාගාරවලට පැමිණිය හැකි බවයි. ලබන 15 වනදා වෛද්‍ය පීඨයේ සෙසු වසරවල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන අතර එම සිසුන්ට ද නේවාසිකාගාරවලට පැමිණිය හැකි වන්නේ, ඊට පෙර දින දහවල් 12 සිට පස්වරු 4 දක්වා කාලය තුළදී ය. රජරට විශ්වවිද්‍යාලයේ සෙසු පීඨ ආරම්භ කරන දිනය පිළිබඳ පසුව තීරණයක් ගන්නා බව උප කුලපතිවරයා සඳහන් කළේ ය. මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා දැනුම් දෙන්නේ ඉංජිනේරු පීඨය , කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය හැර අනෙකුත් පීඨවල අධ්‍යයන කටයුතු මැයි 14 වනදා ආරම්භ කෙරෙන බවයි.