සංක්‍රමණික යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 70 ක් මරුට

මධ්‍යධරණී මුහුදේදී සංක්‍රමණික යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් මිය ගිය සංඛ්‍යාව 70 ක් දක්වා ඉහළට

by Staff writer 11-05-2019 | 9:30 AM

මධ්‍යධරණී මුහුදේදී සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 70 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලිබියාවේ සිට ඉතාලියට සංක්‍රමණය වෙමින් සිටි පිරිසක් රැගත් බෝට්ටුවක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි. ටියුනීසියාව ආසන්නයේදී අනතුර සිදුව ඇත. අනතුරට ලක්වූවන් මුදාගැනීමට ටියුනීසියා වෙරළ ආරක්ෂක බලකාය විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණ ද ඉන් දිවි බේරාගත්තේ පුද්ගලයින් 16 දෙනෙකු පමණි. පමණ ඉක්මවා මගීන් ප්‍රවාහනය අනතුරට හේතුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. වසරේ ගත වූ කාලසීමාව තුළ මුහුදු මගීන් යුරෝපයට පැමිණ ඇති අනවසර සංක්‍රමණිකයින් සංඛ්‍යාව 17000 කි. එය පසුගිය වසරේ එම කාලසීමාවට වඩා 30% ක අඩුවීමක් බව සංක්‍රමණිකයින් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය පවසයි.