සහරාන්ගේ දියණියගේ DNA වාර්තාවක් කැඳවන්නැයි නියෝග

සහරාන්ගේ දියණියගේ DNA පරීක්ෂණයක් කිරීමට අධිකරණයෙන් CID යට අවසර

by Staff writer 10-05-2019 | 4:41 PM

COLOMBO (News 1st) - ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක ෂැංග්‍රීලා හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් සහරාන් හෂීම් නැමැත්තාගේ සිව්හැවිරිදි දියණියගේ රුධිර සාම්පල ලබාගෙන ඩී.එන්.ඒ වාර්තාවක් කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීම අනුවයි. සහරාන් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බකරුවන් කිහිපදෙනෙකු හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පදිංචිව සිටි ගල්කිස්ස පන්සල පාරේ සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවාසවල තිබූ ඇඳුම්පැළඳුම් මෙන්ම බෝම්බකරුවන් නැවතී සිටි ෂැංග්‍රීලා හෝටලයේ කාමරයේ තිබී සොයාගත් නඩු භාණ්ඩ සම්බන්ධයෙන් ජෛව විවිධත්ව වාර්තාවක් කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ අත්අඩංගුවට ගෙන ඇති බෝම්බකරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට අයත් රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයකට අධික වටිනාකමක් ඇති රන් භාණ්ඩ සම්බන්ධයෙන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්තා ලැබී ඇති බවයි. එම රන් භාණ්ඩ රාජසන්තක කිරීමට පියවර ගන්නා බව ද එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය. පසුගිය 21 වැනි දා ෂැංග්‍රීලා හෝටලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය 36 දෙනෙකුගේ හදිසි මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහා 40 දෙනෙකුගේ සාක්ෂි ලේඛනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට ඉදිරිපත් කළේ ය.