මාධ්‍ය හමුවකට පෙර හදිසියේම පැමිණි ජනපති

මහජන නියෝජිතයෙක් එකපාරම පෝසත් වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව ජාතික මට්ටමේ පරීක්ෂණයක් කළ යුතුයි - අගරදගුරු හිමිපාණන්

by Staff writer 09-05-2019 | 10:12 PM
COLOMBO (News 1st) - රටේ වත්මන් තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. මෙම වි‍ශේෂ මාධ්‍ය හමුව පෙරවරු 11.00ට පැවැත්වීමට නියමිතව තිබුණත් එය පැයකට අධික කාලයක් ප්‍රමාද විය. ඒ, රදගුරු සම්මේලනයේ රදගුරුවරුන් හමුවීම සඳහා හදිසියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණීම හේතුවෙනි. ජනාධිපතිතුමා පැයකට ආසන්න කාලයක් මෙහිදී සාකච්ඡාවක නිරත විය. අනතුරුව මධ්‍යහ්න 12.30ට පමණ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ විශේෂ මාධ්‍ය හමුව ආරම්භ කෙරිණි. ජනාධිපතිවරයා සමග සිදු කළ සාකච්ඡාව පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීහු කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේගෙන් විමසූහ. ජනාධිපතිවරයා සමග සිදු කළ සාකච්ඡාවේ කරුණු මාධ්‍යයට හෙළි කිරීම සුදුසු නොවන බව එහිදී උන්වහන්සේ සඳහන් කළේ ය. මෙම මාධ්‍ය හමුවේදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, යම් මහජන නියෝජිතයෙක් එකවරම පෝසත් වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව ජාතික මට්ටමේ පරීක්ෂණයක් කළ යුතු බවට අවධාරණය කළේ ය.