මුස්ලිම් ජාතික විදේශිකයින් 160ක් තවදුරටත් ලංකාවේ

ඉස්ලාම් ඉගැන්වීමට ආ මුස්ලිම් ජාතික විදේශිකයින් 160 ක් තවදුරටත් ශ්‍රී ලංකාවේ

by Staff writer 09-05-2019 | 6:42 AM
COLOMBO (News 1st) : ඉස්ලාම් ධර්මය ඉගැන්වීමට යැයි පවසමින් මෙරටට පැමිණි මුස්ලිම් ජාතික විදෙස් 160 දෙනෙකු පමණ තවදුරටත් මෙරට රැඳී සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඔවුන් පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව, ඊජිප්තුව වැනි රටවලින් මෙරටට පැමිණ ඇති බවයි. එම පිරිස් ඉගැන්වීම්වලට බව වීසා බලපත්‍රයේ සඳහන් කරමින් මෙරටට පැමිණ ඇති බවට ද අනාවරණය වී තිබේ. ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, රාජ්‍ය බුද්ධි අංශයේ සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයෙන් ලද නිර්දේශ මත පමණක් එවැනි පිරිස් සඳහා වීසා නිකුත් කිරීමට පියවර ගත් බවයි. ඔවුන් මෙරටට පැමිණ සිදුකරනු ලබන ක්‍රියාවන් අඛණ්ඩව අධ්‍යනය කිරීමේ වගකීම ඔවුන් සම්බන්ධයෙන් නිර්දේශ ලබාදුන් මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය විසින් සිදුකළ යුතු බව ද එම දෙපාර්තමේන්තුව පවසයි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසුවේ, ඔවුන්ට ලබා දී ඇති වීසා කාලය ඉක්ම ගිය පසු යළි දීර්ඝ වීමක් සිදුවන්නේ නම් ඊට පෙර ද විෂයභාර අමාත්‍යාංශයෙන් සහ රාජ්‍ය බුද්ධි අංශ නිර්දේශ ලබාගන්නා බවයි. ඉස්ලාම් ධර්මය ඉගැන්වීමට පැමිණ මෙරට රැඳී සිටින පිරිස් අතුරින් විවිධ අක්‍රමිකතාවලට සම්බන්ධ බවට අවස්ථා කිහිපයකදී ලද බුද්ධි අංශ තොරතුරු මත වීසා කාලය ඉක්මවීමට පෙර ඇතැම් වීසා අවලංගු කර ඔවුන් මෙරටින් පිටුවහල් කළ බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව අනාවරණය කළේ ය. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පිරිමි ගුරුවරුන් 160කට අධික පිරිසක් මේ වන විටත් දිවයින පුරා රැඳි සිටින බවයි. ඉස්ලාම් ධර්මය ඉගැන්වීම් කටයුතු සඳහා මෙරටට පැමිණ සිටි එවැනි පිරිස්වලින් ඇතැමෙක් අප්‍රේල් 21 වනදා එල්ල වූ ප්‍රහාරයෙන් පසු මෙරටින් බැහැරව යාමේ ප්‍රවණතාවක් ඇති බවට ද නිරීක්ෂණය වී ඇතැයි, ආගමන විගමන දෙපාර්තමේන්තුව හෙළි කළේ ය.