ත්‍රස්තයින් විශාල මුදලක් රට තුළට රැගෙන ආවේ කෙසේ ද?

අගමැති ගෙන ආ නව විදේශ විනිමය පනත ත්‍රස්ත මුදල් ගනුදෙනුවලට පහසුවක් වුණා ද?

by Staff writer 09-05-2019 | 9:50 PM
COLOMBO (News 1st) - රුපියල් මිලියන 140ක මුදල් සහ තවත් රුපියල් බිලියන 7ක වත්කම් අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායම සතුව තිබී ආරක්ෂක අංශ මේ වන විට සොයා ගෙන තිබේ. මෙතරම් විශාල වත්කම් හා විනිමය රට තුළට රැගෙන ආවේ කෙසේ ද? වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, මෙවැනි ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා රටේ විදේශ විනිමය නීති නැවත දැඩි කළ යුතු බව ය. අප මේ අනතුරු ඇඟවීම කළේ මීට බොහෝ කලකට පෙර ය. පැවති විදේශ විනිමය නීති රීති අහෝසි කර නව විදේශ විනිමය පනතක් ගෙන ආවේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයායි. 2017 අංක 12 දරණ විදේශ විනිමය හුවමාරු පනත් කෙටුම්පත 2017 අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අග්‍රාමාත්‍යවරයා ජුලි 25 වන දා එය සම්මත කර ගත්තේ ය. ඒ, අප මෙන්ම ආර්ථික විද්වතුන්ගේ ද අනතුරු ඇඟවීම් පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වමිනි. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා එම අවස්ථාවේ මෙම පනත නිසා ඇති වන අහිතකර තත්ත්වයන් පිළිබඳව අනතුරු අඟවමින් කියා සිටියේ, රට තුළට විදේශ මුදල් රැගෙන එන විට කරුණු විමසීමකින් තොරව ගෙන ඒමට මේ මගින් ඉඩ සලසා ඇති බව ය. මෙරටට රැගෙන එන ඩොලර් මිලියනයක් සඳහා 1%ක ඉතා කුඩා බද්දක් පනතින් පනවා තිබූ අතර ඩොලර් මිලියනය ඉක්මවූ විට එම බද්දෙන් ද නිදහස් කෙරිණි. මෙවැනි ලිහිල් නීති නිසා විදේශ රටවල ඇති කළු සල්ලි සුදු කිරීමේ පහසුම මාර්ගයක් බවට ශ්‍රී ලංකාව පත් වීමේ අවදානම ගැන චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු විද්වත්හු අවස්ථා ගණනාවකදීම අනතුරු ඇඟවීම් කළහ. එම අනතුරු ඇඟවීම් තහවුරු වූ පළමු අවස්ථාව වූයේ, 2017 දෙසැම්බර් මාසයේදී එෆ්.ඒ.ටී.එෆ් හෙවත් මූල්‍ය කටයුතු කාර්ය බලකාය නමැති ජාත්‍යන්තර සංවිධානය විසින් ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් සැපයීම සම්බන්ධයෙන් දැඩි අවදානමක් ඇති රටවල් අතරට ලැයිස්තුගත කිරීමයි. ශ්‍රී ලංකාව සමග එම ලැයිස්තුවේ සිටි සෙසු රටවල් වූයේ බොස්නියාව, ඉතියෝපියාව, ඉරානය, ඉරාකය, සිරියාව, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ, ටියුනීසියා, වනවාටු හා යේමනයයි. 2018 පෙබරවාරි මාසයේදී යුරෝපා සංගමය ද ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණ රටවල් ලැයිස්තුවට ඇතුළත් කළේ යුරෝපා පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාවකිනි. මේ අනුව ටියුනීසියාව, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ යන රටවල් සමග ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ ලැයිස්තුවට ඇතුළත් විය.
රුසිරුපාල තෙන්නකෝන් හිටපු ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරී "ත්‍රස්තවාදයට අදාළ ප්‍රධාන රුකුලක් වෙලා තියෙනවයි කියලා විශ්වාස කරන්නේ වෙනත් තැන්වලින් ලැබිච්ච ආධාර මුදල් ගලාගෙන ඒම. දැන් එහෙම නම් විනිමය පනත හරහා එබදු ඉඩක් ලැබුණා නම් අද මේ ජාතියම මුහුණ දෙන උවදුරට ඒ පනත හදිසියේ සම්මත කර ගැනීම හේතු වුණා කියන එක අපිට කියන්න සිද්ධ වෙනවා. සෝදිසි මෙහෙයුම් අතර මේ රටට පසුගිය කෙටි කාලය තුළ ගලාගෙන ආපු විදේශ විනිමය ආධාර හා වෙනත් ගලාගෙන ඒම් පිළිබඳව බැංකු හරහා සොයා බැලීමක් කළොත් මේ විමර්ශනයේ ප්‍රතිඵලයක් වශයෙන් අපිට සැලකිය යුතු ප්‍රමාණයක මේ පිටුපස සැඟවී ක්‍රියාත්මක වන පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමට පුළුවන් කියන එකයි මගේ විශ්වාසය."