පාසල් විෂය බාහිර ක්‍රියාකාරකම් තාවකාලිකව නවතී

සෑම පාසලකටම උපරිම ආරක්ෂාවක් යොදා ඇතැයි ආරක්ෂක ලේකම් කියයි...

by Staff writer 07-05-2019 | 6:53 AM
COLOMBO (News 1st) : පාසල් කටයුතු ආරම්භ කළ ද විෂය බාහිර ක්‍රියාකාරකම් සහ පාසල් කාලයෙන් පසු සිදුවන ක්‍රීඩා පුහුණුවීම් තාවකාලිකව නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්. එම්. රත්නායක මහතා ප්‍රකාශ කළේ, පවතින ආරක්ෂිත තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගෙන එම පියවර ගත් බවයි. එම කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීමට පියවර ගෙන ඇතැයි ද, ඔහු ප්‍රකාශ කළේ ය. අතිරේක ලේකම්වරයා පැවසුවේ, ඊයේ 6 ශ්‍රේණියේ සිට ඉහළ පන්ති සඳහා පාසල් ආරම්භ කෙරුණද, ළමුන්ගේ පැමිණීම 5%ක මට්ටමක පැවති බවයි. මේ අතර ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පැවසුවේ, සෑම පාසලක් සඳහා ම උපරිම ආරක්ෂාවක් යෙදවා ඇති බවයි. ආරක්ෂක අංශ රටේ ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින අවස්ථාවක පළ වන විවිධ කටකතාවලට නොරැවටෙන ලෙස ද ආරක්ෂක ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.