"දේශීය බුද්ධි අංශ ශක්තිමත් කරන්න"

විදෙස් සහය වෙනුවට දේශීය බුද්ධි අංශ ශක්තිමත් කරන්න - මල්වතු මහ නාහිමි

by Staff writer 07-05-2019 | 6:36 PM
COLOMBO (News 1st) - පක්ෂ භේද පසෙකලා ජාතික ආරක්ෂාවත්, දේශයේ සංවර්ධනයත් උදෙසා එක්ව කටයුතු කරන්නැයි සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීමක් කරයි. මහ නාහිමියන් මේ ඉල්ලීම කරන්නේ, ක්‍රියාත්මක කළ යුතු යෝජනා කිහිපයක් පිළිබඳව ද අවධානය යොමු කරමිනි. කවර පක්ෂයක් බලයට පත් වුවද ජාතික ආරක්ෂාවත්, රටේ සංවර්ධනයත් උදෙසා ක්‍රියාත්මක කළ හැකි ජාතික ප්‍රතිපත්ති මේ මොහොතේම සම්පාදනය කළ යුතු බව සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහ නාහිමියන් අවධාරණය කරයි. අන්තවාදී ත්‍රස්ත සංවිධානයක් රටේ නැවතත් ඇති නොවීමට ගත යුතු රාජ්‍ය ප්‍රතිපත්තිමය තීරණ කිහිපයක් පිළිබඳව මහ නාහිමියන් ජනාධිපතිවරයාගේ, අග්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ අවධානයට යොමු කර තිබේ. මහ නාහිමියන්ගේ යෝජනා මාලාව පහත පරිදි වේ. 1. ජාතීන් මුල් කර ගනිමින් ක්‍රියාත්මක නීති හා අධිකරණ පද්ධති අහෝසි කර පොදු නීති රාමුවක් රට තුළ ස්ථාපනය කිරීම. 2. එක් ජාතියකට පමණක් සීමා වූ අධ්‍යාපන ආයතන වෙනුවට රටේ සියලු ජාතීන්ට අධ්‍යාපනය ලැබිය හැකි ආයතන හා පොදු විෂයමාලා හඳුන්වා දීම. 3. ආගමික මතවාද මත යැපෙමින් ආරම්භ වන උසස් අධ්‍යාපන ආයතන තහනම් කිරීමට ප්‍රතිපත්ති සැකසීම හා නියාමනය කිරීම. 4. හදිසි නීතිය යටතේ තහනම් කළ බුර්කාව හා නිකාබ් වැනි ඇඳුම් ස්ථිරවම තහනම් කිරීමට අණ පනත් සම්පාදනය කිරීම. 5. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි අනවසරයෙන් මෙරට රැඳී සිටින පුද්ගලයින් පිටුවහල් කිරීම හා එවැනි ක්‍රියාවන්ට සහය දෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම. 6. වාර්ගික රේඛාවන් අනුව භූමි කලාප බෙදා වෙන් කර ගැනීම නතර කිරීම. 7. ආගමික අනන්‍යතාවයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා මුදල් අය කරමින් සිදු කරන ආහාර ප්‍රමිතිගත කිරීම් වහා නැවැත්වීම. 8. විදේශීය සහයෝගය මත පූර්ණ වශයෙන් යැපීම වෙනුවට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සියලු බලවේග හඳුනා ගෙන ඒවාට ප්‍රතිපක්ෂව කටයුතු කිරීමට දේශීය බුද්ධි අංශ වෙත නෛතික බලය ලබා දීම. සියලු ශ්‍රී ලංකාවාසීන්ට නිදහසේ, සහෝදරත්වයෙන්, සාමයෙන් ජීවත් විය හැකි පරිසරයක් ඇති කර දීමට අවශ්‍ය දේශපාලන නායකත්වය ලබා දීම යුගයේ අවශ්‍යතාව බව සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් අවධාරණය කරයි.