බස් රථ මාර්ග බලපත්‍ර ටෙන්ඩර් ගාස්තුවට සහන

බස් රථ මාර්ග බලපත්‍ර ටෙන්ඩර් ගාස්තුවට සහන ලබා දීමට රජය තීරණය කරයි

by Staff writer 07-05-2019 | 11:33 AM
COLOMBO (News 1st) : පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන අන්තර් පළාත් බස් රථවලින් මසකට අයකර ගන්නා මාර්ග බලපත්‍ර ටෙන්ඩර් ගාස්තුවට සහන ලබාදීමට තීරණය කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.  එහි ජේෂ්‍යඨ නිලධාරියෙකු සඳහන් කළේ, මේ අනුව අප්‍රේල් 21 වන දා සිට මේ මස 21 වන දා අතර මාසයක කාලයක් සඳහා අයකරන මාර්ග බලපත්‍ර ගාස්තුවෙන් 50%ක් පමණක් අයකර ගැනීමට තීරණය කළ බවයි. රට තුළ උද්ගත වූ නොසන්සුන්තාවත් සමග බස් හිමියන්ගේ ආදායම 20%ක් දක්වා පහත වැටී ඇති බව ද, එම නිලධාරීයා පෙන්වා දෙයි. එම තත්ත්වය තුළ බස් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් මෙම සහනය ලබා දීමට පියවර ගත් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය. එම කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා නිවුස්ෆස්ට් වෙත සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් බස් හිමියන් කළ දැනුම් දීම් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි. මේ අතර, තවදුරටත් මගීන්ගේ පැමිණීමේ අඩුවක් සියලු ප්‍රදේශවලින් වාර්තා වන බව ද, ජාතික ගමනාගමන කොමිෂන් සභාව පෙන්වා දෙයි.