මරණ දඬුවම දිය යුතු බවට මරික්කාර්ගෙන් යෝජනාවක්

ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ අයට මරණ දඬුවම ලබා දිය යුතු බවට මරික්කාර්ගෙන් යෝජනාවක්

by Staff writer 07-05-2019 | 10:05 PM
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට යෝජනාවක් ඉදිරිපත් කළේ ය. ත්‍රස්තවාදී සංවිධානවලට හා ක්‍රියාකාරකම්වලට සෘජුවම හෝ වක්‍රව ආධාර, උපකාර හා අනුබල දුන් බවට යම් කිසි අයෙකු අධිකරණය මගින් තහවුරු වුවහොත්, මරණ දඬුවම ලබා දීම සුදුසු බව මන්ත්‍රීවරයාගේ යෝජනාවේ සඳහන් ය. එමෙන් ම ඔවුන්ගේ සියලු දේපළ රාජසන්තක කළ යුතු බවට ද මන්ත්‍රීවරයා යෝජනා කර තිබේ. මේ අතර නැගෙනහිර පළාතේ ස්ථාපිත කර ඇති ෂරියා විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නා ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අද පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළේ ය. අදාළ යෝජනාව මන්ත්‍රීවරයා විසින් කථානායක කරු ජයසූරිය මහතාට හා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දී තිබේ.