දේශපාලන අධිකාරියට මල්වතු මහනාහිමිගෙන් යෝජනාවලියක්

දේශපාලන අධිකාරියට මල්වතු මහනාහිමිගෙන් යෝජනාවලියක්

දේශපාලන අධිකාරියට මල්වතු මහනාහිමිගෙන් යෝජනාවලියක්

කර්තෘ Staff writer

07 May, 2019 | 1:15 pm

COLOMBO (News 1st) : ජනපති, අග්‍රාමාත්‍ය හා විපක්ෂ නායකවරයාගේ අවධානයට ලක් කරමින් රටේ දේශපාලන අධිකාරිය මේ මොහොතේ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන් නිවේදනයක් නිකුත් කර තිබේ.

නිවේදනයේ දැක්වෙන්නේ අන්තවාදී ත්‍රස්ත ක්‍රියාවන්ගෙන් රට ආරක්ෂා කරගැනීම උදෙසා දේශපාලන බේද පසෙක ලා එකමුතුව ක්‍රියා කළ යුතු බවයි.

කවර පක්ෂයක් බලයට පත් වුව ද ජාතික ආරක්ෂාවත්, රටේ සංවර්ධනයත් උදෙසා ක්‍රියාත්මක කළ හැකි ජාතික ප්‍රතිපත්ති මේ මොහොතේම සම්පාදනය කළ යුතු බව මල්වතු මහනාහිමියෝ පෙන්වා දෙති.

අන්තවාදී ත්‍රස්ත සංවිධානයක් රටේ නැවතත් ඇති නොවීමට ගතයුතු රාජ්‍ය ප්‍රතිපත්තිමය තීරණ කිහිපයක් පිළිබඳව මෙහිදී මහානාහිමියන් නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

*ජාතීන් මුල් කරගනිමින් ක්‍රියාත්මකවන නීති හා අධිකරණ පද්ධතීන් අහෝසි කර පොදු නෛතික රාමුවක් රට තුළ ස්ථාපනය කිරීම.

*එක් ජාතියකට පමණක් සීමා වූ අධ්‍යාපන ආයතන වෙනුවට රටේ සියලු ජාතීන්ට අධ්‍යාපනය ලැබිය හැකි ආයතන හා පොදු විෂය මාලාවන් හඳුන්වා දීම.

*ආගමික මතවාදයන් මත යැපෙමින් ආරම්භ වන උසස් අධ්‍යාපන ආයතන තහනම් කිරීමට ප්‍රතිපත්ති සැකසීම හා නියාමය කිරීම අවධාරණයට ලක් කර කිරීම.

*හදිසි නීතිය යටතේ තහනම් කළ බූර්කාව හා නිකාබ් වැනි ඇදුම් ස්ථිරවම තහනම් කිරීමට අණ පනත් සම්පාදනය කිරීම හා මුස්ලිම් ප්‍රජාව දැනුවත් කිරීම. 

*ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි අනවසරයෙන් මෙරට රැඳී සිටින පුද්ගලයන් මෙරටින් පිටුවහල් කිරීම හා එවැනි ක්‍රියාවන්ට සහය දෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම.

*වාර්ගික රේඛාවන් අනූව භූමි කලාප බෙදා වෙන් කර ගැනීම නතර කිරීම.

*ආගමික අනන්‍යතාවයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා මුදල් අයකරමින් සිදු කරන ආහාර ප්‍රමිතිගත කිරීම් වහා නැවැත්වීම.

යනාදි කරුණු පිළිබඳව ද මල්වතු මහා නාහිමියන් වැඩිදුරටත් අවධානයට ලක්කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]