ත්‍රස්තයින් පුහුණු වූ බව කියන නිවසක් වටලයි

ත්‍රස්තයින් පුහුණු වූ බව කියන නිවසක් නුවරඑළියේදී වටලයි

by Staff writer 06-05-2019 | 7:09 PM

COLOMBO (News 1st) - ත්‍රස්තවාදීන් පුහුණු කිරීමට යොදාගත් බව කියන නුවරඑළිය, බ්ලැක්පූල් ප්‍රදේශයේ නිවසක් අද පොලීසිය හා යුද හමුදාව වටලා තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, එම නිවසට ආසන්නයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද පොලීසිය භාරයට ගත් බවයි. කාත්තන්කුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් රාජ්‍ය බුද්ධි සේවය අනාවරණය කරගත් තොරතුරු මත අද මෙම වැටලීම සිදු කර ඇත. එම සැකකරුද අද නුවරඑළිය, බ්ලැක්පූල්හී ධර්මාපාලපුර පිහිටි එම නිවස වෙත රැගෙන ආ අතර ඔහු එහිදී මොහොමඩ් සහරාන් සහ තමා අතුළු පිරිස නැවතී සිටි ස්ථාන පිළිබඳව ආරක්ෂක අංශවලට කරුණු හෙළිදරව් කර තිබේ. සැකකරු ප්‍රකාශ කළේ, පසුගිය මාසයේ පළමු සතියේ දිනක අලුයම 4.00 ට පමණ කාත්තන්කුඩියේ සිට නුවරඑළියට පැමිණි බවයි. එම අවස්ථාවේ නුවරඑළිය නගරයට ගෙනවිත් තිබූ වෑන් රථ දෙකකින් එහි සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි මෙම නිවස වෙත තමා අතුළු පිරිසක් රැගෙන ආ බව ඔහු පවසා ඇත. සැකකරු අනාවරණය කර ඇත්තේ, මොහොමඩ් සහරාන් සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් මෙන්ම ගම්පොළදී අත්අඩංගුවට ගැනුණු මාවනැල්ල බුදුපිලිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනා සමග 35 දෙනෙකු මෙම නිවසේදී වැඩමුළුවකට සහභාගිවී ඇති බවයි. ටී 56 ඇතුළු ගිනි අවි භාවිතය සහ ආගමික මතවාද පිළිබඳව දැනුවත් වූ බව ඔහු පවසා ඇත. මෙම නිවස එහි හිමිකරු ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා කුලී පදනම යටතේ වෙනත් පුද්ගලයෙකුට ලබාදී ඇති අතර ඔහු විසින් මොහොමඩ් සහරාන් ඇතුළු පිරිසට නිවස ලබාදෙන්නට ඇතැයි පොලීසිය සැකකරයි. මේ අතර ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට ගම්පොළදී අත්අඩංගුවට ගත් ෂාහිඩ් අබ්දුල් හක් හා සාදික් අබ්දුල් හක් යන සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු මත ප්‍රබල එන්ජින් ධාරිතාවකින් යුත් යතුරු පැදියක් ගම්පොළ උලපනේ නිවසකින් සොයා ගැනුණි. මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි කිරීම සඳහා මෙම යතුරු පැදිය යොදා ගන්නට ඇතැයි පොලීසිය සැකකරයි. පොලීසිය පැවසුවේ, මෙම යතුරු පැදිය ලියාපදිංචි කර නොමැති අතර ව්‍යාජ අංක තහඩු යොදා ධාවනය කර ඇති බවයි. එය හක් සහෝදරයින්ගේ තව ත් මාමා කෙනෙකු මෙටට ගෙන්වා ඇතැයි පොලීසිය පැවසුවේ ය.