"යුද සමයේ පවා මෙරට ඡන්ද කල් දමලා නැහැ"

"හදිසි නීතියට මුවා වී ඡන්ද කල් දාන්න බැහැ" - මහින්ද දේශප්‍රිය

by Sagarika Chathumali 05-05-2019 | 8:40 AM
COLOMBO (News 1st) : හදිසි නීතියට මුවා වී මැතිවරණ කල් දැමිය නොහැකි බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. කෙසේ වෙතත් විපතට පත් ජනතාවගේ කනගාටුදායක තත්ත්වය හේතුවෙන් අද, හෙට මැතිවරණයක් පැවැත්වීමේ වාතාවරණයක් නොමැති වුව ද හදිසි නීතියට මුවාවී ඡන්ද කල් දැමීම සිදුකළ නොහැක්කක් බව ඔහු අවධාරණය කර සිටියේ ය. සභාපතිවරයා මෙම අදහස් පළ කළේ,  සිරස FM රේඩියෝ සටන වැඩසටහනට එක් වෙමිනි. උතුරේ යුද්ධය පැවති සමයේ පවා මෙරට කිසිදු ජනාධිපතිවරණ හෝ මහා මැතිවරණ ඡන්ද විමසීම් කල් තබා නොමැති බව ද සභාපතිවරයා සිහිපත් කළේ ය. සභාපතිවරයා වැඩිදුරටත් පවැසුවේ, හදිසි නීතියට මුවා වී 1971 වසරේ සිට 1977 දක්වා පළාත් පාලන ආයත ඡන්ද විමසීමක් නොපැවැත්වීමේ ප්‍රතිඵල 1977 වසරේදී ඒ සියලු දෙනාටම දකින්නට හැකි වූ බවයි. තව ද ත්‍රස්වාදය යටපත් කිරීම සඳහා පනවා ඇති හදිසි නීතියට මුවා වී ඡන්ද කල් දැමීම ද ත්‍රස්වාදයක් බව ඔහු අවධාරණය කළේ ය.