මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට - ‍චෝදනා රැසක්

by Staff writer 05-05-2019 | 5:11 PM

COLOMBO (News 1st) - ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කරන ලද මාකඳුරේ මධුෂ් නොහොත් සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, මධුෂ් සම්බන්ධයෙන් විමර්ශන විවිධ චෝදනා ඔස්සේ සිදුවන බවයි. මධුෂ් 2015 වසරේ ජූනි මස දෙවැනි දින ව්‍යාජ විදෙස් බලපත්‍රයකින් ඩුබායි බලා ගමන් කර ඇති බව ද ‍මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. වර්ණකුලසූර්යගේ අජිත් අරංග ලෙස ව්‍යාජ නමකින් හා 241 "ඒ" ජාඇළ පාර ගම්පහ යන ව්‍යාජ ලිපිනය ඉදිරිපත් කරමින් මධුෂ් විදෙස් ගතව තිබේ. මධුෂ්ට එරෙහිව ඇති චෝදනාවලට අමතරව විදෙස් ගමන් බලපතකින් විදෙස් ගත වීම සම්බන්ධයෙන් ද විමර්ශන සිදුවේ. විදෙස් ගතව සිටිමින් සංවිධානාත්මක අපරාධ මෙහෙයවීම හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර ඇති බවට චෝදනා එල්ලවන මධුෂ්ට එරෙහිව ඇති චෝදනා කිහිපයකි මේ. 2017 මැයි 9 පිළියන්දල ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින්, පොලිස් නිලධාරියෙකු හා දැරියක් ඝාතනය කිරීම. 2017 පෙබරවාරී 27 වැනි දින කළුතර බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා පිරිසක් ඝාතනය කිරීම. 2018 මාර්තු 7 අඟුණුකොලපැලැස්ස ඝාතනයක් සිදු කර හිස කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයකට ගෙනවිත් දැමීමේ සිද්ධිය. 2016 ජූනි 11 කඹුරුපිටය ඩැනී හිත්තැටිය ඝාතනය. මෙවැනි ඝාතන සිද්ධින් රැසක් සම්බන්ධයෙන් මාකඳුරේ මධුෂ්ට චෝදනා එල්ල වේ. මේ වන විට පාතාල නායක මාකඳුරේ මධුෂ්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ.