"ජනපතිවරණයට පෙර රට ස්ථාවර කරනවා" - ජනපති

"මැතිවරණයට පෙර රට ස්ථාවර කරනවා" - ජනපති

by Staff writer 05-05-2019 | 12:29 PM
COLOMBO (News 1st) : වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර රට තුළ ස්ථාවරයක් ඇති කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා කියා සිටියේ පාස්කු දින ප්‍රහාරයෙන් අනතුරුව ආරක්ෂක අංශ ත්‍රස්තවාදය තුරන් කරනු ඇති බවයි. පාස්කු ඉරු දින ප්‍රහාරය පිටුපස IS සටන්කාමී සංවිධානය සිටින බවට තමා විශ්වාස කරන බව රොයිටර් පුවත් සේවය සමග අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ය. ජනාධිපතිවරයා කියා සිටියේ මැතිවරණ කල් දැමිය නොහැකි බවයි. එබැවින් ත්‍රස්තවාදය තුරන් කර රට තුළ ස්ථාවරත්වයක් ඇති කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ ය. මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ, මෙම ත්‍රස්ත සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයින් පිළිබඳව මේ වනවිට හඳුනා ගෙන ඇති බවයි. බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ තවත් ක්‍රියාකාරී සාමාජිකයින් 25 ත් 30 ත් අතර සංඛ්‍යාවක් නිදැල්ලේ සිටින බව ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ. ජනාධිපතිවරයා කියා සිටියේ එම සැකකරුවන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් ද යන්න පිළිබඳව තොරතුරක් නැති බවයි. මෙම බෝම්බ ප්‍රහාරවලින් අනතුරුව IS සංවිධානය එහි වගකීම භාර ගනිමින් නිවේදනයක් නිකුත් කිරීම නිසා IS සංවිධානය මෙම ප්‍රහාරය පිටුපස සිටින බව ඉතා පැහැදිලි බව ද ජනාධිපතිවරයා කියා සිටියේ ය. මෙය ශ්‍රී ලාංකික ගැටලුවක් නොවන බව කියා සිටි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ මෙය ගෝලීය ත්‍රස්ත ව්‍යාපාරයක් බවයි. අමෙරිකාව, රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය සහ ඔස්ට්‍රේලියාව යන රටවලට එක්ව ද මෙම ගෝලීය IS ත්‍රස්ත තර්ජනය සම්පුර්ණයෙන්ම තුරන් කිරීමට නොහැකි වී ඇති බව මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.