පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර සෞදියෙන් උපදෙස් මාලාවක්

පාස්කු ඉරිදා ප්‍රහාරයට දින 5කට පෙර සෞදියෙන් විශේෂ උපදෙස් මාලාවක්

by Staff writer 04-05-2019 | 8:32 PM
(News 1st) - පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට දින 5කට ප්‍රථම සෞදි විදේශ කටයුතු අමාත්‍යංශය විසින් මෙරට සෞදී තානාපති කාර්යාලයට ලිපියක් යවා තිබේ. ලෙබනන් අල්-අහ්ඩ් නිව්ස් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ, සෞදි විදේශ කටයුතු අමාත්‍ය ඉබ්රාහිම් බින් අබ්දුල් අසීස් අල් අසාෆ් විසින් ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති අබ්දුල් නසර් අල් හරතිට අදාළ රහස්‍ය ලිපිය යවා ඇති බව ය. අදාළ රහස්‍ය ලේඛනය උපුටා දක්වමින් අල්-අහ්ඩ් නිව්ස් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ, සෞදි විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රධාන කරුණු 3ක් පිළිබඳව මෙරට තානාපතිවරයාගේ අවධානයට යොමු කර ඇති බව ය. මෙරට සෞදි තානාපති කාර්යාලය සතුව පවතින දේශීය හා විදේශීය සාමාජිකයින් හා කණ්ඩායම් පිළිබඳ ලිපි ලේඛන, පරිගණක දත්ත ඇතුළු සියලු තොරතුරු මකා දමන ලෙස අදාළ රහස්‍ය ලේඛනයේ පළමු කරුණ ලෙස සඳහන්ව ඇති බව ලෙබනන් අල්-අහ්ඩ් නිව්ස් වෙබ් අඩවිය පෙන්වා දෙයි. ජනතාව වැඩි වශයෙන් ගැවසෙන දේවස්ථාන වැනි ස්ථානවලින් ඉදිරි දින කිහිපය තුළ ඉවත්ව සිටින ලෙසත්, විශේෂයෙන්ම පාස්කු ඉරිදා දින ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වෙත නොයන ලෙසත් මෙරට තානාපති කාර්යාලයේ ආරක්ෂක කටයුතුවලට සම්බන්ධ සියලු නිලධාරීන්ට, බුද්ධි අංශ නිලධාරීන්ට දැනුම් දෙන ලෙස අදාළ ලිපියේ දෙවැනි කරුණ ලෙස දක්වා තිබේ. 3 වන කරුණ ලෙස දක්වා ඇත්තේ, ශ්‍රී ලංකාවේ බලධාරීන් පිළිබඳ සියලු තෙරතුරු ලිඛිතව සෞදි විදේශ අමාත්‍යංශයට ලිඛිතව ලැබීමට සලස්වන ලෙස ය. මෙවන් පසුබිමක සෞදි අරාබි තානාපති කාර්යාලය ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මෙරට රැඳී සිටින සිය වැසියන්ට, ශ්‍රී ලංකාවෙන් පිටවන ලෙස ද නිවේදනය කළේ ය.