සෑම පාසලකටම පාසල් කාලය තුළ පොලිස් ආරක්ෂාව

ත්‍රිවිධ හමුදාවෙන් පාසල් ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

by Staff writer 04-05-2019 | 7:06 AM

COLOMBO (News 1st) - ත්‍රිවිධ හමුදාව එක් ව පාසල් ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

පාසල් ආශ්‍රිතව දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. මේ අතර සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්. නිහාල් රණසිංහ මහතා පවසා ඇත. ඔහු පැවසුවේ, දෙවන පාසල් වාරය ආරම්භ කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් චක්‍රලේඛයක් මගින් සියලුම විදුහල්පතිවරුන් වෙත දන්වා යවා ඇති බවයි. ඒ අනුව දෙමව්පියන් දැනුවත් කොට ඔවුන්ගේ ද සහභාගීත්වයෙන් සෑම පාසලකම ආරක්ෂක කමිටු පිහිටුවා තිබේ. ඊට අමතරව සෑම පාසලකම පාසල් කාලය තුළ පොලිස් ආරක්ෂාව ලබාදීමට කටයුතු යොදා ඇති බව ද ලේකම්වරයා සඳහන් කළේ ය. සඳුදා පාසල් වාරය ආරම්භ කිරීම නිමිත්තෙන් විදුහල්පතිවරුන් විසින් යොදා ඇති වැඩපිළිවෙලවල් පරීක්ෂා කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ කොළඹ අවට පාසල් කිහිපයකම සංචාරය කර ඇත. මේ අතර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, ආරක්ෂාව තහවුරු කර රජයේ සියලු පාසල් සඳුදා ආරම්භ කිරීමට තීරණය කළ බවයි.