තොරතුරු දුන් පොලිස් කොස්තාපල්වරයාට උසස් වීමක්

සයින්දමර්දුහි ත්‍රස්තයින් රැඳී සිටින බවට තොරතුරු දුන් පොලිස් කොස්තාපල්වරයාට උසස් වීමක්

by Staff writer 03-05-2019 | 4:39 PM
COLOMBO (News 1st) - කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ රැඳී සිටි ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දී ක්‍රියාත්මක වූ පොලිස් රථ වාහන අංශයේ කොස්තාපල්වරයාට උසස් වීමක් ලබා දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඒ අනුව එම නිලධාරියා, පොලිස් සැරයන් ධූරයට උසස් කළ බව ය. එමෙන් ම ඔහු සිදු කළ සේවය අගයමින් රුපියල් ලක්ෂ 5ක මුදල් ත්‍යාගයක් ද ලබා දී තිබේ. එම පොලිස් සැරයන්වරයාට සහය ලබා දුන් තවත් පොලිස් කොස්තාපල්වරයෙකුට සහ සැරයන්වරයෙකුට ද රුපියල් ලක්ෂ 5 බැගින් මුදල් ත්‍යාග ලබා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. මේ අතර ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබා දුන් එම ප්‍රදේශයේ ම මුස්ලිම් ජාතිකයින් 3 දෙනෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් මූල්‍ය ත්‍යාග ලබා දී තිබේ. සයින්දමර්දුහි සිදු කළ වැටලීමේදී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ ත්‍රස්තවාදීන් විසින් ආරක්ෂක අංශ වෙත වෙඩි ප්‍රහාර එල්ල කළ අතර පසුව එම ත්‍රස්තවාදීහු නිවසක් තුළදී බෝම්බ පුපුරුවා ගත්හ. සිද්ධියෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මිය ගිය පුද්ගලයින් අතර කුඩා දරුවන් 6 දෙනෙක් ද සිටිති.