පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු හමුවෙන අවි ආයුධ මෙතෙක් කල් තිබුණේ කොහේ ද?

by Staff writer 03-05-2019 | 9:57 PM
COLOMBO (News 1st) - පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පසු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මේ වන විට අවි ආයුධ විශාල වශයෙන් හමුවෙමින් තිබේ. මෙම අවි ආයුධ මෙතෙල් කල් තිබුණේ කොහේ ද? 2015 වසරේදී ගාල්ලේදී ඇවන්ට් ගාඩ් පාවෙන අවි ගබඩාව ආරක්ෂක හමුදා සිය භාරයට ගෙන පරීක්ෂා කළේ ය. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ කණ්ඩායම් සඳහන් කළේ, මෙම පාවෙන අවි ගබඩාවේ අවි එකිනෙක ඇතිල්ලී එහි අංක මැකී ඇති බව ය. මෙම පාවෙන අවි ගබඩාව හමුදා භාරයට ගත් අවස්ථාවේ සිටම නිව්ස්ෆස්ට් අපි දිගින් දිගටම සඳහන් කළේ මෙහි ඇති අවි ආයුධ සාමාන්‍ය සමාජය සමග සංසරණය වීමේ හැකියාව කොතරම් ද යන්නයි. එපමණක් නොව 2015 මැයි මස 14 වන දා සිට අවස්ථා ගණනාවකදී විල්පත්තු වන විනාශය පිළිබඳව නිව්ස්ෆස්ට් වාර්තා කළේ ය. එහිදී අපි විල්පත්තු වනාන්තරය විනාශ කරමින් සිටින බවත් මෙම ප්‍රදේශවල හඳුනා නොගත් විවිධ කණ්ඩායම් සහ පුද්ගලයින් සිටින බවත් පෙන්වා දුන්නෙමු. එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව නිව්ස්ෆස්ට් දීප ව්‍යාප්තව ගෙයින් ගෙට යමින් ජනතාව දැනුවත් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන, ජාවාරම් කරන පුද්ගලයින් ඇසුරු කරන දේශපාලනඥයින්ට නැවත ඡන්දය ලබා නොදෙන ලෙසයි. මේ වන විට රට තුළ මත්ද්‍රව්‍ය විශාල වශයෙන් හමුවෙමින් තිබේ. කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට පත් විය. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර එල්ල වුණේ, මෙවැනි පසුබිමක් තුළදීයි. මාකඳුරේ මධුෂ් මෙරටට ගෙන්වීම සඳහා රජය ගෙන ක්‍රියාමාර්ග මොනවා ද? අපට කියන්නට තිබෙන්නේ අප අනාවරණය කළ සියලු තොරතුරු මේ වන විට තහවුරු වෙමින් පවතින බවයි. පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරවලින් අහිංසක ජීවිත විශාල ප්‍රමාණයක් මෙරටට අහිමි වී හමාරයි. අඩුම තරමින් ඒ අහිංසක මිනිසුන්ගේ නාමයෙන් දැන්වත් මේ පිළිබඳව සොයා බලා නීතිය නිවැරදිව ක්‍රියාත්මක කළ යුතු නොවේ ද?