පාසල්වල ආරක්ෂාවෙන් කොටසක් පාසල් සිසුන්ටත් පැවරෙයි

ආරක්ෂාව පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීමට දේශන මාලාවක්

by Staff writer 03-05-2019 | 7:23 AM

COLOMBO (News 1st) - 10 වැනි ශ්‍රේණියෙන් ඉහළ පාසල් සිසුන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කරන දේශන මාලාවක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශය අතිරේක ලේකම් එම්. එම්. රත්නායක මහතා සඳහන් කළේ, රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීමට ජ්‍යෙෂ්ඨ සිසුන්ට විශාල කාර්යභාරයක් පැවරී ඇති බවයි. මෙම දේශන මගින් ඔවුන් එම වගකීම පිළිබඳව දැනුවත් කිරීම මෙන්ම සැකකටයුතු පුද්ගලයෙකු සිදුවීමක් හෝ කිසියම් පාර්සලයක් දුටුවහොත් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් බවක් ලබාදීම සිදු කරන බව ද ඔහු පැවසුවේ ය. රටේ ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත්කම ද මෙම දේශන හරහා ඔවුන්ට ලබාදෙන බව අතිරේක ලේකම්වරයා සඳහන් කළේ ය. මේ අතර ලබන සඳුදා පාසල් විවෘත කිරීමත් සමග සියලු පාසල්වල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ ය. ඒ අනුව සෑම පාසලකම අවම වශයෙන් එක් ආරක්ෂක නිලධාරියෙකු බැගින් හෝ යෙදවීමට නියමතයි.