මධ්‍යම තැපැල් හුවමාරුවේදී කොටු වූ තිදෙනා CCD යට

අසත්‍ය තොරතුරු ඇතුළත් ලිපි තැපැල් කිරීමට උත්සාහ කළ තිදෙනා CCD භාරයට

by Staff writer 03-05-2019 | 10:30 AM

COLOMBO (News 1st) - ජාතික අසමගියට හේතු වන සහ ජනාධිපතිවරයාට අපහාස වන ආකාරයේ පත්‍රිකා තොගයක් සමග මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගත් රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ සේවය කළ තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී තිබේ.

පොලීසිය පැවසුවේ, මොවුන් සතුව තිබූ ලිපි 639ක් සොයා ගත් බව ය. මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පැමිණි තිදෙනෙකු අදාළ පත්‍රිකා තොගය තැපැල් කිරීමට උත්සහ කිරීමේදී ඒ පිළිබඳව සැක සිතූ පොලීසිය එම ලිපි විවෘත කර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ, ජනාධිපතිවරයා අපකීර්තියට පත් වන සහ ජාතික අසමගියට හේතු වන කරුණු එහි ඇතුළත් බව ය. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදි තොරතුරු සහ ඒවාට වගකිව යුත්තන් පිළිබඳව වැරදි තොරතුරු ප්‍රචාරය කිරීමට ද මොවුන් උත්සහ දරා ඇතැයි පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මේ සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කළේ ය. අමාත්‍යවරයා පවසන්නේ, මෙම සිද්ධියෙන් අනතුරුව තමා ද මෙම ලිපිය බැලූ බවත් එහි කිසිදු අපහාසයක් හෝ රාජ්‍ය විරෝධී දෙයක් සඳහන් නොවන බව ය.