NTJ සහ JMI ඉස්ලාමීය දේවස්ථාන තහනම් කිරීමට පියවර

NTJ සහ JMI සංවිධාන යටතේ ක්‍රියාත්මක වන ඉස්ලාමීය දේවස්ථාන තහනම් කිරීමට පියවර

by Staff writer 01-05-2019 | 10:35 AM
COLOMBO (News 1st) - ජාතික තව්හිඩ් ජමාත් සංවිධානය සහ ජාමාතේ මිල්ලතු ඊබ්‍රහීම් ෆි සෙයිලානි සංවිධාන යටතේ ක්‍රියාත්මක වන ඉස්ලාමීය දේවස්ථාන තහනම් කිරීමට පියවර ගන්නා බව මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ එම්.ආර්.එම්. මලික් මහතා සඳහන් කළේ, දේවස්ථාන පිහිටු වීමට අවසර ලබා දෙන වකුබ් සභාව වෙත මේ සම්බන්ධයෙන් දැනුවත් කර අවශ්‍ය පියවර ගන්නා බව ය. මේ වන විටත් එවැනි දේවස්ථාන තම ප්‍රදේශවල ඇත්නම් දෙපාර්තමේන්තුවට සතියක් ඇතුළත දැනුම් දෙන්නැයි දිස්ත්‍රික් මට්ටමෙන් සිටින නිලධාරීන්ට දැනුවත් කර ඇති බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය. ඉදිරියේදී මුස්ලිම් දේවස්ථානවලට අවසර ලබා දීමේ ක්‍රමවේදය වඩාත් විධිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව එම්.ආර්. එම්. මලික් මහතා සඳහන් කළේ ය. මේ වන විට මෙරට තුළ ඉස්ලාමීය දේවස්ථාන 2000ක් මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ එම සියලු දේවස්ථානවල ලියාපදිංචිය සහ අනුමැතිය ලැබුණු ආකාරය සම්බන්ධයෙන් විධිමත් සුපරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගන්නා බවත් ‍මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.