ත්‍රස්ත සැකකරුවන් පැමිණීම වැළැක්වීමට වැඩපිළිවෙළක්

ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානවල සැකකරුවන් දිවයිනට පැමිණීම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළක්

by Staff writer 01-05-2019 | 7:21 AM
COLOMBO (News 1st) - ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ සැකකරුවන් දිවයිනට පැමිණීම වැළැක්වීම සඳහා කටුනායක ගුවන්තොටුපොළේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. එහි පාලක ජනරාල් පසන් රත්නායක මහතා සඳහන් කළේ, ඒ සඳහා ජාත්‍යන්තර පොලීසියේ දත්ත ගොනුව හා සම්බන්ධ කෙරෙන විශේෂ මෘදුකාංගයක් ද ගුවන්තොටුපොළ ආගමන විගමන කවුළුවල ක්‍රියාත්මක කර ඇති බව ය. මීට අමතරව දිවයිනෙන් පිටව යන පුද්ගලයින් සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බව ඔහු සඳහන් කළේ ය. පසන් රත්නායක මහතා පැවසුවේ, පසුගියදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ගුවන්තොටුපොළේදී ගන්නා ආරක්ෂිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණවලට එළැඹුණු බව ය.