ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

by Staff writer 01-05-2019 | 7:09 AM
COLOMBO (News 1st) - ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදී තිබේ. මෙවර එහි තේමාව 'සැමට තිරසර විශ්‍රාම ක්‍රමයක් උදෙසා සමාජ පාර්ශවකරුවන්ගේ භූමිකාව' යන්නයි. ලෝක කම්කරු සංවිධානයේ දත්තවලට අනුව ලොව ශ්‍රම බලකාය ජනගහණයෙන් 58%කි. ඉන් 71%ක් පිරිමින් වන අතර සෙසු පිරිස කාන්තාවන් ය. ශ්‍රී ලංකාවේ තත්ත්වය ගත් කළ ජනගහණයෙන් 50.2%ක් ශ්‍රම බලකාය නියෝජනය කරන අතර ඉන් 32.4%ක් කාන්තාවන් බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය ප්‍රකාශ කළේ ය. පැය 8ක සේවා මුරයක් වෙනුවෙන් කළ සටනක ප්‍රතිඵලයක් වශයෙන් ලෝක කම්කරු දිනය ප්‍රකාශයට පත් කෙරේ.

කම්කරු දිනයේ ඉතිහාසය…

1886 අද වැනි දිනක අමෙරිකාවේ චිකාගෝ නගරය උණුසුම් වූයේ අසාධාරණයට එරෙහිව නැගී සිටි කම්කරු පිරිසකගේ විරෝධතාවක් හේතුවෙනි. පසුව එම දිනය ලොව පුරා වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් අවධාරණය කරන සුවිශේෂී දිනය බවට පරිවර්තනය විය. ශ්‍රී ලංකාවේ කම්කරු ප්‍රජාව ලෝකවාසී කම්කරුවන් සමග එක්සත්ව පෙළ ගැසුණේ, සිය අයිතීන් දිනාගැනීමේ අඛණ්ඩ අරගලයේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. ලෝක ඉතිහාසයේ තවත් අමරණීය දිනයක සටහන් තබමින් වර්ෂ 1886 මැයි මස 01 වන දා අමෙරිකාවේ චිකාගෝ නුවරට කම්කරුවන් පිරිසක් රැස් වූයේ, තම වැඩමුරය පැය 8 කට සීමා කරන්නැයි ඉල්ලමිනි. එදා සටන් පාඨ කියමින් එම උද්ඝෝෂණයට එක්වූ පිරිස දහසකට අධික ය. වැඩ වර්ජනය දිගින් දිගට ම ක්‍රියාත්මක වෙද්දී තුන් වන දිනයේ ඊට එක්ව සිටි කම්කරුවන් පිරිස 65000 ඉක්මවූහ. වර්ෂ 1886 මැයි මස 03 වනදා වැඩ වර්ජනයේ තීරණාත්මක දිනය විය. හාම්පුතුන්ගේ මෙහෙයවීමෙන් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් පිරිසක් වැඩ වර්ජනයට ප්‍රහාරයක් එල්ල කළේ, කම්කරුවන් සිව් දෙනෙකුගේ දිවි අහිමි කරමිනි. මේ පහර දීමට විරෝධය පළ කරමින් මැයි මස 04 වන දා හේමාර්කට් චතුරශ්‍රයට කම්කරුවන් පිරිසක් එක්වූහ. එදා පොලීසිය හා කම්කරුවන් වචන හුවමාරුවක පැටලුණු අවස්ථාවේ එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් එක් පොලිස් නිලධාරියෙකු මිය ගියේ ය. ගැටුමක් දක්වා වර්ධනය වූ එය තවත් උග්‍ර වූයේ, පොලිස් නිලධාරීන් 06 දෙනෙකුට ජීවිත අහිමි කරමිනි. ගැටුමින් මිය ගිය කම්කරුවන් සංඛ්‍යාව අදට ත් ගණන් බලා නොමැත. ඔගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්ඩ්න්ස්, ඇඩොල්ෆ් ෆීෂර්, එන්ගල්ස්, සැමුවෙල් ෆීල්ඩන්, ලුයිස් ලන්ග්, මයිකල් ස්ට්වැච් හා ඔස්කා නිබේ යන කම්කරු නායකයින් පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔවුන්ට එරෙහිව නඩු පැවරිණි. ඒ අනුව ඔස්කා නිබේට වසර 15ක සිර දඬුවමක් නියම වූ අතර සැමුවෙල් ෆීල්ඩන්, මයිකල් ස්ට්වැච් දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳීමට සිදු විය. සෙසු කම්කරු නායකයින් පස් දෙනා එල්ලා මැරීමට නියම විය. 1889 වසරේ රැස්වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේ, පැය 8ක සේවා කාලයක් ඉල්ලා අරගල කරමින් රුධිරය වැගිරු තම සගයින් සදාතනිකව සිහි කිරීමට ය. ඒ අනුව සෑම වසරක ම මැයි 01 වන දා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් වුණේ, අදට ත් කම්කරුවන්ගේ අයිතිවාසිකම් රැක දෙන දිනයක් ලෙස හඳුන්වමිනි. මේ අතර රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන මෙවර කම්කරු දිනය සැමරීමෙන් වැළකීමට දේශපාලන පක්ෂ ඇතුළු වෘත්තීය සමිති රැසක් තීරණය කර තිබේ. මැයි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ, ශ්‍රමයේ උරුමය හිමි සර්ව සාධාරණ අයිතිවාසිකම් සහිත මිනිස් සමූහයක් ලෙස හිමිකම් හා අන්‍යෝන්‍ය සහජීවනය ද, උවදුරින් තොර ජීවන පරිසරයක් ද උදෙසා එකාවන්ව කටයුතු කිරීමේ අපේක්ෂා ස්ථිර ලෙස ඉදිරියට ගෙන යාමට මෙවර මැයි දිනයේ අදිටන් කර ගත යුතු බව ය.