by Staff writer 30-04-2019 | 3:46 PM
COLOMBO (News 1st) - චණ්ඩ වන 'ෆොනී' සුළි කුණාටුව හේතුවෙන් ඉදිරි දින කිහිපයේ මෙරට බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි හා තද සුළං ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ලබන 03 වැනි දා දක්වා ඌව, සබරගමුව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ ද මිලිමීටර් 150 ට වඩා වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි.
සෙසු පළාත්වලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව සුළි කුණාටුව පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
විශේෂයෙන් මධ්‍ය කඳුකරයත් උතුරු, උතුරුමැද සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 60 - 70 දක්වා තද සුළං අපේක්ෂා කළ හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
'ෆොනී' සුළි කුණාටුව මේ වන විට ත්‍රිකුණාමලයට ඊසාන දිගින් කිලෝමීටර් 660 ක් පමණ දුරින් ස්ථාන ගතව ඇති අතර එය ඉදිරි පැය 12 තුළ අතිශය චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඉන්දියාවේ ඔඩිස්සා වෙරළට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට වයඹ, දකුණු, ගිනිකොණ, නැගෙනහිර, ඊසාන සහ උතුරු දෙසින් පිහිටි මුහුදු ප්‍රදේශයේ නැවත දැනුම්දෙන තුරු ධීවර හා නාවුක කටයුතුවලින් වලකින ලෙස ධීවරයින්ට උපදෙස් දී තිබේ.