ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ වන වාර්තාව ළඟදීම...

ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ වාර්තාව සියලු පාර්ශවයන්ට ලබා දෙනවා - ජනපති

by Staff writer 30-04-2019 | 6:10 PM

COLOMBO (News 1st) - ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව තමන් වෙත ලැබීමෙන් පසු එම තොරතුරු සියලු පාර්ශවයන්ට විවෘත කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා සඳහන් කළේ, වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඉදිරි ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බවයි. ඉහළම අධිකරණ බලයක් සහිතව පත් කළ මෙම පරීක්ෂණ මණ්ඩල වාර්තාව සති දෙකක් ඇතුළත ලැබීමට නියමිත බව ද ජනාධිපතිතුමා පැවසුවේ ය. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, නව ආරක්ෂක ලේකම් ලෙස පත් කෙරුණු ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේදී අද පෙරවරුවේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති හමුවකදීයි. ත්‍රස්තවාදයට එරෙහිව දියත් කර ඇති මෙහෙයුම් හා අත්අඩංගුවට ගැනීම් පිළිබඳ ප්‍රගතිය මෙම හමුවේ දී සමාලෝචනය කර තිබේ. පාසල්වල ආරක්ෂාවට ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙල මෙන්ම රජයේ කාර්යාලවල කටයුතු යථා පරිදි පවත්වාගෙන යාම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී කරුණු සමාලෝචනය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් රටේ කිසිදු කාර්ය අකර්මණ්‍ය වීමට ඉඩ නොතබා සියලු කටයුතු යථා පරිදි පවත්වාගෙන යා යුතු බව මේ හමුවේදී ජනාධිපතිතුමා අවධාරණය කර ඇත.