ත්‍රස්ත ක්‍රියා සම්බන්ධව දේශපාලඥයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 30-04-2019 | 10:20 PM

COLOMBO (News 1st) - ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ හා සෝදිසි කිරීම්වලදී ප්‍රාදේශීය දේශපාලඥයින් හා ඔවුන්ට සම්බන්ධ කිහිපදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට පත් ව සිටි.

කෝට්ටේ මහ නගර සභා මන්ත්‍රී හාජා මොහිදීන් අලි උසුමාන් නැමැත්තා ඊයේ පොලීසිය අත්අඩංගුවට ගත්තේ කඩු තුනක්, මන්න පිහියක්, යුද හමුදා සටන් ඇතුළත් සංයුත්ත තැටි, ජංගම දුරකතන දෙකක් සහ පරිගණක කොටස් කිහිපයක් සමගයි. අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා සහ ඔහුගේ සොහොයුරා ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයින්ව සිටි බවට මූලික පරීක්ෂණවලදී හෙළිවිය. මේ වන විටත් රඳවා ගැනීමේ නියෝග මත ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටි. තව ද පසුගිය 26 වැනි දා කොළඹ නාගරික මන්ත්‍රී නුර්දීන් මොහොමඩ් තජුඩීන් ද පොලිස් අත්අඩංගුවට පත් විය. සැකකරු අත්අඩංගුවට ගැනුනේ, කොම්පඤ්ඤවීදිය ප‍්‍රදේශයෙන් සොයාගත් කඩු 46 ඇතුළු සැකකටයුතු භාණ්ඩවලට අදාළවයි. මේ වන විට ඔහුගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර ප්‍ර‍ශ්න කිරීම් සිදු කරන බව පොලීසිය ප්‍ර‍කාශ කළේ ය. මීගමුව නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් අන්සාර් තියුණු ආයුද හා ජංගම දුරකතන බැටරි 38 ක් ළඟ තබාගැනීම මත පසුගිය 27 වැනි දා අත්අඩංගුවට ගෙන තිබේ. වත්තල මාබෝල නගර සභාවේ හිටපු සභාපති මොහොමඩ් නව්ශාඩ්ගේ සොහොයුරු මොහොමඩ් රිෆාස් ද පසුගිය 24 වැනි දා අත්අඩංගුවට ගත්තේ ය. සන්නිවේදන උපකරණ, පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ තහනමට ලක් කෙරුණු ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ ලාංඡන කිහිපයක් ඔහු සන්තකයේ තිබී සොයා ගැණුනි.