NTJ කොළඹ සංවිධායක රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර

NTJ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික්ක සංවිධායක රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

by Staff writer 29-04-2019 | 4:49 PM

COLOMBO (News 1st) - ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් වන ජාතික තව්හිඩ් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක මොහොමඩ් ෆාරුක් මොහොමඩ් පවාස් පැය 72 ක කාලයක් කෙසෙල්වත්ත පොලීසිය භාරයේ රඳවා ගෙන ත්‍රස්තවාදි ක්‍රියා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය බස්නාහිර පළාත් බුද්ධි අංශයට අද අවසර ලබා දී තිබේ.

පැය 72 ක කාලය අවසන් වීමෙන් පසු සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නඩුව ලබන 02 වැනි දා යළි කැඳවීමට නියෝග කළා ය. ඊයේ පස්වරුවේ ලැබුණු රහසිගත තොරතුරක් මත අත්අඩංගුවට ගත් එම සැකකරු භාරයේ තිබී ජාතික තව්හිඩ් ජමාත් සංවිධානයේ කටයුතු ප්‍රවර්ධනය සඳහා යොදා ගත හැකි ස්ටිකර් 67 ක් සොයා ගැනීමට හැකිවූ බවත් ඔහු එම ස්ටිකර්ස් බෙදා හරිමින් ඉස්ලාම් අන්තවාදි සංවිධානයේ ප්‍රචාරණ කටයුතු කළ බවත් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියහ. සැකකරු භාරයේ තිබුණු ජංගම දුරකතනයේ පසුගිය 21 වැනි දා රට පුරා ස්ථාන 08 කදී සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරවලට අදාළ වීඩියෝ දර්ශනත්, එම මරාගෙන මැරෙන ත්‍රස්තවාදින් භාවිතා කළ වාහනවල ඡායාරූපත් සොයා ගැනීමට හැකිවූ බව විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ අනාවරණය කළහ.